ගෝලීය ඇති නැති පරතරය නො එසේනම් ගෝලීය සමාජ විෂමතාවය පිළිබඳව වන ඔක්ස්ෆෑම් සංවිධානයේ වාර්තාව පසුගිය ඉරිදා දීනයෙහිදී නිකුත් වූවා ය. එය ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නගරයේ පැවැත්වෙන World Economic Forum එකට සමගාමීව නිකුත් වීම විශේෂත්වයකි. මෙයට ලෝකයේ ධනවත්ම පුද්ගලයන් සහ දේශපාලන නායකයන් ගණනාවක්ම සහභාගී වීමට නියමිතයි. ලෝක ධනවාදයේ ප්‍රධානම අවකාශයක් වන WEF පැවැත්වීමට සමගාමීවම මෙම වාර්ථාව නිකුත් වීම විසින් ලෝකයේ සත්‍ය තත්ත්වය ගැන අපට තේරුම් ගත හැකිය.
ඔක්ස්ෆෑම් වාර්තාවට අනුව 2025 වසර තුලදී ලෝකයේ බිලියනපතියන්ගේ මුළු ධනය ඩොලර් ට්‍රිලියන 2.5 කින් ඉහල ගොස් ඇත. එමෙන්ම 2025 වසර තුලදී ලෝකයේ පළවෙනි වතාවටම ලෝකයේ බිලියනපතියන්ගේ සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය වී ඇත. ඩොලර් ට්‍රිලියන 2.5 ක් යනු ලෝක ජනගහනයේ ධනය අනුව පහලම අයගේ ධනයට සමාන ධනයකි. එනම් බිලියන 4.1 කගේ සමස්ථ ධනයට සමාන අගයකි.
මේ අනුව මෙලෙස එක් අන්තයක ධනය සමුච්ඡනය වීමට සමානතරව අනෙක් අන්තයේ දරිද්‍රතාවය වර්ධනය වෙමින් ගෝලීය වශයෙන් දරිද්‍රතාවය වර්ධනය වී ඇත. මෙහි ඇති සුවිශේෂීම දේ නම් මෙයයි. 2025 වසර යනු සාමකාමී වසරක් නම් නොවේ. ඒ බව ඔබ සැවොම දන්නවා ද ඇති. 2025 යනු ලෝකය පුරාම භූ-දේශපාලන අස්ථාවරතාවයන් තිබුණූ, ලෝකයේ බොහෝ රටවල් වල නැගී එන ආර්ථික අර්බුදය නිසා මහජන කැළබීම් සිදු වූ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ නොමද සහය ඇතිව ඊශ්‍රායල සියොන්වාදීන් විසින් ගාසාව වටලනු ලැබ ගාසාව තුල කෘතිම සාගතයක් නිර්මාණය වුනු වසරකි. ලෝකය එසේ තිබියදී සමාජයේ එක අන්තයක ධනය මෙලෙස සමුච්ඡනය වීම අප සුජාතකරණය කරන්නේ කෙසේ ද?
ඔක්ස්ෆෑම් වාර්ථාව තවදුරටත් සඳහන් කරන්නේ මෙම බිලියනපතියන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන බවයි. මෙම ධනවාදී ක්‍රමය තුල ප්‍රජාතන්ත්‍රවාදය යනුම මායාවකි. එය එකල ග්‍රීක පෞර රාජ්‍යයන් හි පැවති වහල් හිමියන්ට පමණක් වූ ප්‍රජාතන්ත්‍රවාදයට සමාන දෙයකි. අද එය ධනපතියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයකි. ඔක්ස්ෆෑම් වාර්ථාව සඳහන් කරන ආකාරයට දේශපාලන අධිකාරියට යාමට සාමාන්‍ය පුරවැසියෙකුට වඩා 4000 ක ගුණයකින් බිලියනපතියන් සමත් වන බවය. එසේම රටවල් 66 ක සිදු කල සමීක්ෂණ වාර්තා අනුව ප්‍රශ්ණාවලීන්ට පිළිතුරු දුන් පුද්ගලයන්ගෙන් අඩක්ම පවසන්නට වූයේ තම රටේ මැතිවරණ ධනවත් මිනිසුන් විසින් කොල්ලකන බවය.
මෙසේ බිලියනපතියන්ගේ ධනය වර්ධනය වීමත් සමඟ දේහපාලනය තුල හා ජන මාධ්‍ය තුල ඔවුන්ගේ බලපෑම වැඩි වී තිබෙන අතර ඇමරිකානු ජාතික බිලියනපති එලොන් මස්ක් “Twitter” මිලදී ගෙන එය “X” ලෙස නැවත නම් කොට පාලනය කිරීම සහ ඇමසන් සමාගමේ නිර්මාතෲ ජෙෆ් බෙසෝස් විසින් ඇමරිකාවේ බලපෑම් සහගතම පුවත්පතක් වන “Washington Post” මිලදී ගැනීම මෙන්ම ඔවුන් ඇමරිකානු දේශපාලනයට මැදිහත්වීම තුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය මායාවක්ම වී අවසන් ය.
විශේෂයෙන්ම පසුගිය වසර පුරාම එලොන් මස්ක් මෙන්ම තාක්ෂන ධනපතියන් බොහොමයක් ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වල ජර්මනියේ “AFD” අන්ත-දක්ෂිනාංශික ව්‍යාපාරයන් වලට ආධාර දීමම මේ බිලියනපතියන් ධනවාදය තුල තිබෙන අවම ප්‍රජාතන්ත්‍රවාදයට පවා බිය වීම පෙන්වා දිය හැකිය.
ආර්ථික අර්බුදය ඉදිරියේ ලෝකයේ බොහෝ රටවල් වල ආණ්ඩු සමාජ සුබසාධන කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා සහ එයට උත්සාහ කිරීම ඔබ 2025 වසර තුල දැක ඇත. විශේෂයෙන්ම ප්‍රංශය තුල ඒ හේතුවෙන් විශාල මහජන විරෝධයක් එල්ල වූවා අප දැකගත් අතර ඒවා සියල්ල සිදු වී තිබෙන්නේ බිලියනපතියන්ගේ ධනය මේ විදියට වර්ධනය වෙමින් පවතින විටයි. බිලියනපතියන්ගේම මෙවලමක් වන “බුර්ෂුවා ආණ්ඩු” විසින් ආර්ථික අර්බුදය ඉදිරියේ එම බිලියනපතියන්ගේ ධනයට අත නොතබා කම්කරු පංතිය තම සටන් තුලින් දිනාගත් සුබසාධන සේවාවන් කප්පාදු කිරීමට යාමෙන්ම පෙනෙන්නේ මෙම ආණ්ඩු ධනවාදයට සේවය කරන ආකාරයයි.
2025 වසර නිමා කොට 2026 වසරටම පාතබන්නේ අධිරාජ්‍යවාදීන් විසින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීමත් සමඟයි. එය වෙනිසියුලාවෙන් පමණක් අවසන් නොවනු ඇත. මෙම බිලියනපතියන්ගේ ලාභ පිපාසය සන් සිඳුවන්ට කල හැකි සෑම දෙයක්ම ඉදිරියට ද කරනු ඇත. ඇති නැති පරතරයට අමතරව මහා පරිමාණ කර්මාන්ත විසින් කාබන් වැනි විෂ වායු මුදා හැරීමද මහා වනාන්තර කපා දැමීම ද නිසා මේ වන විට අප “Climate Change” එකකට මුහුණ දී තිබෙනවා. රෝසා ලක්සම්බර්ග් වරක් පැවසූ පරිදිම සමාජවාදය නැතිනම් වනචාරිත්වය යන්න අද දවසේ ප්‍රායෝගිකම ගැටලුව බවට පත්ව ඇත. බිලියනපතියන්ගේ මේ සා විශාල ධනය අත්පත් කරගන්නේ නැතිව ඔවුන්ගේ හිමිකාරීත්වය යටතේ තිබෙන නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක නොකරන තාක් කල් අප ගමන් කරමින් සිටින්නේ වනචාරීත්වයටමය.
දිමුත් භානුක
