මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 3,000කින් වැඩි කර තිබේ.
ඒ අනුව අවම මාසික වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර තිබේ.
මෙම තීරණය 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත මගින් නීතිගත කර ඇති අතර මෙම නව සංශෝධනයත් සමඟ මීට පෙර පැවති අවම දෛනික වැටුප් ව්‍යුහය පහත පරිදි වෙනස් වේ.
| විස්තරය | පැවති අවම වැටුප | නව අවම වැටුප | වැඩිවීම |
| මාසික අවම වැටුප | රු. 27,000 | රු. 30,000 | රු. 3,000 |
| දෛනික අවම වැටුප | රු. 1,080 | රු. 1,200 | රු. 120 |
මෙම වැටුප් වැඩි කිරීමේදී සේවායෝජකයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කොන්දේසි කිහිපයක් පනතේ 4 වන වගන්තිය මගින් පනවා ඇත. ඒ අනුව සේවකයෙකු 2025.03.31 වන විට ලබමින් සිටි වෙනත් කිසිදු දීමනාවක් (අයවැය සහන දීමනා හැර), මෙම රු. 3,000 වැඩි කිරීමට හිලවු කරමින් කපා හැරීමට සේවායෝජකයාට අවසර නැත.
එසේම සෘජුවම බඳවාගත් සේවකයන් පමණක් නොව, අතරමැදියන් හෝ කොන්ත්‍රාත්කරුවන් හරහා බඳවා ගත් සේවකයන් සම්බන්ධයෙන් ද වගකීම අවසාන සේවායෝජකයා (Principal Employer) වෙත පැවරෙණු ඇත.
තවද නව අවම වැටුප සංශෝධනය පදනම් කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට (ETF) ගෙවීම්, අතිකාල දීමනා, පාරිතෝෂික ගෙවීම් සහ ප්‍රසූතිකාධාර සහ නිවාඩු දින ගෙවීම් ගෙවීම් ගණනය කළ යුතුය.
කිසියම් ආයතනයක් මෙම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් නව අවම වැටුප ලබා නොදෙන්නේ නම්, සේවකයන්ට ඒ පිළිබඳව පැමිණිලි කිරීමේ පූර්ණ අයිතිය පවතී. නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි වේ.
මෙම ජාතික අවම වැටුප යනු ඕනෑම පෞද්ගලික අංශයේ සේවකයෙකුට (කුමන කර්මාන්තයක නිරත වුවද) හිමිවිය යුතු අඩුම සීමාවයි. යම් සේවකයෙකු පාලක සභා (Wages Boards) මගින් පාලනය වන වෘත්තියක නිරත වන්නේ නම්, එම සභාව මගින් නියම කර ඇති අවම වැටුප මීට වඩා වැඩි විය හැකි අතර, එවිට සේවකයාට හිමිවන්නේ වැඩි අගයයි.

