අලුත් පෙළපොත් වර්ගවාදයත් ප්‍රවර්ධනය කරනවාද? භයානක හෙළිදරව්වක්!

වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළ ඉතිහාසය සහ මානව විද්‍යාව ඉගැන්වීමේදී භාවිතා වන ඇතැම් කරුණු කෙතරම් යල් පැන ගිය සහ විද්‍යාත්මකව අභියෝගයට ලක් වූ ඒවාද යන්න නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන්ම මිනිසා වර්ග කිරීම (Human Classification) සම්බන්ධයෙන් පෙළපොත්වල ඇති කරුණු සහ නූතන විද්‍යාත්මක පිළිගැනීම් අතර ඇත්තේ විශාල පරතරයකි.

මේ පිළිබද සමිල ද සිල්වා ෆේස්බුක් සටහනක් ලියා තිබුණි.

‘අද වන විට විද්‍යාත්මක ලෝකය පිළිගන්නා සත්‍යය නම්, මිනිසා විවිධ “වර්ග” වල එකතුවක් නොව තනි මානව සංහතියක් බවයි.

මෙහි ඉදිරිපත් කර ඇති නව විෂය නිර්දේශයේ ඇතුලත් කර ඇති පිටුවල දැක්වෙන වර්ගීකරණයන් වර්තමානය වන විට විද්‍යාත්මක පදනමක් නොමැති, ඉතිහාසයට පමණක් සීමා වූ යල් පැන ගිය මතයන් වේ.

පාසල් පෙළපොත්වල තවමත් මෙම කරුණු අඩංගු වන්නේ නම්, එමඟින් සිදු වන්නේ නව පරපුර වෙත විද්‍යාත්මකව සාවද්‍ය සහ සමාජයීය වශයෙන් හානිකර විය හැකි පණිවිඩයක් ලබා දීමයි.

එබැවින් මෙම ඉගැන්වීම්වල ඓතිහාසික පසුබිම සහ ඒවා බැහැර කිරීමට හේතු වූ කරුණු නිවැරදිව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සමිල ද සිල්වා පෙන්වූ කරුණු පෙළපොත, නූතන විද්‍යාව සහ යුනෙස්කෝ (UNESCO) ප්‍රකාශන ඇසුරින් විමසා බැලුවෙමු.

පෙළපොතේ උගන්වන “මානව වර්ග 04”

පෙළපොතේ ලෝකයේ ජීවත් වන මිනිසුන් ප්‍රධාන මානව වර්ග හතරකට බෙදා දක්වයි. ඒවා නම්:

  1. කොකෝසොයිඩ් (Caucasoid): යුරෝපීය ලක්ෂණ ඇති, සුදු හෝ දුඹුරු සමක් ඇති අය.
  2. ඔස්ට්‍රොලොයිඩ් (Australoid): ශ්‍රී ලංකාවේ ආදිවාසීන්, දකුණු ඉන්දියානුවන් වැනි අය අයත් යැයි පැවසෙන කාණ්ඩය.
  3. මොන්ගොලොයිඩ් (Mongoloid): චීනය, ජපානය වැනි රටවල කහ පැහැති සමක් සහ කුඩා ඇස් ඇති අය.
  4. නිග්‍රොයිඩ් (Negroid): අප්‍රිකානු රටවල ජීවත් වන කළු පැහැති සමක් සහ බොකුටු හිසකෙස් ඇති අය.

‍ෙ මෙම වර්ගීකරණය 18 සහ 19 වන සියවස්වල යුරෝපීය මානව විද්‍යාඥයින් (උදා: කාල් ලිනේයස්, ජොහාන් බ්ලූමන්බැක්) විසින් ඉදිරිපත් කළ, හුදෙක් බාහිර රූපකාය (Phenotype) – එනම් සමේ පාට, නහයේ හැඩය, හිසකෙස් ස්වභාවය – මත පදනම් වූ පැරණි වර්ගීකරණයකි. මෙමගින් මිනිසුන්ව “වර්ග” (Races) ලෙස කොටු කර දක්වයි. පෙළපොතේ මෙම කොටස මගින් දරුවාට ලබා දෙන්නේ “මිනිසුන් ජාව විද්‍යාත්මකවම ප්‍රධාන වර්ග 4කට බෙදී ඇත” යන වැරදි මතයයි.

සමිල මෙසේ ලියයි – ‘අතීතයේ මිනිසුන් මෙවැනි වර්ගීකරණයකට පෙළඹුණේ සරල නිරීක්ෂණ සහ එවකට පැවති දේශපාලන අවශ්‍යතා මතය.

ප්‍රවාහන පහසුකම් අවම වූ එකල, විවිධ මහාද්වීපවල සිටි මිනිසුන්ගේ සමේ පැහැය, හිසකෙස් වල ස්වභාවය සහ මුහුණේ හැඩය එකිනෙකට බෙහෙවින් වෙනස් බව පෙනෙන්නට තිබුණි.

මෙම බාහිර විවිධත්වය පමණක් පදනම් කරගෙන මිනිසුන්ව වෙනස් “වර්ග” ලෙස ලේබල් කිරීම එකල පර්යේෂකයන්ට පහසු වූ අතර, එය ලෝකයේ මිනිස් විවිධත්වය තේරුම් ගැනීමට ගත් ප්‍රාථමික උත්සාහයක් විය.

කෙසේ වෙතත්, මෙම වර්ගීකරණය පිටුපස තිබූ ප්‍රධානතම හා අඳුරුතම හේතුව වූයේ යුරෝපීය අධිරාජ්‍යවාදය යුක්තිසහගත කිරීමයි.

සුදු සමක් ඇති “කොකෝසොයිඩ්” වර්ගය සෙසු වර්ගවලට වඩා බුද්ධියෙන් සහ ශිෂ්ටාචාරයෙන් උසස් බව පෙන්වීමට මෙම වර්ගීකරණ භාවිත කරන ලදී.

මෙලෙස මිනිසුන්ව ධුරාවලියකට අනුව ශ්‍රේණිගත කිරීම හරහා අප්‍රිකානු සහ ආසියානු රටවල් යටත් විජිත බවට පත්කිරීමටත්, වහල් සේවය පවත්වාගෙන යාමටත් අවශ්‍ය දෘෂ්ටිවාදාත්මක පසුබිම සකස් කරගන්නා ලදී.‘

නූතන මානව විද්‍යාව සහ “හෝමෝ සේපියන්ස්” (Homo Sapiens)

නූතන විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි, ජීව විද්‍යාත්මකව “මානව වර්ග” (Human Races) යනුවෙන් දෙයක් නොපවතී. ඇත්තේ එකම මිනිස් විශේෂයකි. ඒ “හෝමෝ සේපියන්ස්” (Homo Sapiens) ය.

  • ජාන විද්‍යාව (Genetics): මානව ජෙනෝම ව්‍යාපෘතිය (Human Genome Project) මගින් තහවුරු කර ඇති පරිදි, ඕනෑම මිනිසුන් දෙදෙනෙකු අතර ජානමය සමානකම 99.9% කි. අප එකිනෙකා වෙනස් වන්නේ 0.1% කින් පමණි. සමේ පාට වැනි ලක්ෂණ තීරණය වන්නේ ඉතා සුළු ජාන ප්‍රමාණයකිනි.
  • පරිසර සාධක: සමේ වර්ණය වෙනස් වී ඇත්තේ පෘථිවියේ අක්ෂාංශ අනුව හිරු එළියට (Melanin) ප්‍රතිචාර දැක්වීමක් ලෙස මිස, වෙනස් ජීවී විශේෂයක් ලෙස නොවේ.

එබැවින් පෙළපොතේ ඇති රූපසටහන (මිනිසා -> වර්ග 4 කට බෙදීම) විද්‍යාත්මකව අසත්‍යයකි. සත්‍යය නම්, මේ සියලු දෙනා එකම හෝමෝ සේපියන්ස් පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන් අතර ඇත්තේ ක්‍රමික විදැහුම් (Clinal variations) මිස පැහැදිලි බෙදීම් රේඛා නොවේ.

සමිල මෙසේ ලියා ඇත – ‘මෙම ඉගැන්වීම් නතර කිරීමට බලපෑ ප්‍රධානතම විද්‍යාත්මක හේතුව වූයේ 20 වන සියවසේ අගභාගයේදී සිදු වූ ජාන විද්‍යාවේ දියුණුවයි.

මිනිස් ජාන සිතියම්ගත කළ විද්‍යාඥයන් සොයාගත්තේ, ලොව ඕනෑම ප්‍රදේශයක සිටින මිනිසුන් දෙදෙනෙකු අතර ජානමය සමානකම 99.9% ක් වන බවයි.

ජානමය වශයෙන් “ජාතිය” හෝ “වර්ගය” යනුවෙන් වෙන් කළ හැකි පැහැදිලි සීමා මිනිසා තුළ නොමැති බවත්, මිනිසුන් අතර පවතින සුළු වෙනස්කම්වලින් බහුතරයක් එකම වර්ගය යැයි සම්මත කරගත් පිරිසක් තුළ පවා පවතින බවත් මෙයින් තහවුරු විය.

තවද, මෙම වර්ගීකරණයන් සාවද්‍ය වූයේ ඒවා පරිසරයට අනුව සිදු වූ ස්වභාවික අනුවර්තනයන් වැරදි ලෙස අර්ථකථනය කළ බැවිනි.

උදාහරණයක් ලෙස, තද හිරු රශ්මිය ඇති ප්‍රදේශවල මිනිසුන්ගේ සමේ මෙලනින් වර්ණකය වැඩි වීම (තද පැහැති සම) යනු ජානමය වශයෙන් වෙනම උප විශේෂයක් වීම නොව, හුදෙක් සිරුර ආරක්ෂා කර ගැනීමට සිදු වූ අනුවර්තනයකි.

මෙම තර්කය මත පදනම්ව, මිනිසුන් අතර පවතින්නේ “වර්ග” නොව භූගෝලීය පිහිටීමට අනුව සැකසුණු “ව්‍යුහාත්මක විවිධත්වයක්” පමණක් බව වර්තමානයේ පිළිගැනේ.‘

මීට අමතරව පරිණාමවාදය ගැන පාඩමක නූතන කාන්තා රුවක් යනුවෙන් කෘත්‍රිම බුද්ධියෙන් සැකසූ මේකප් තැවරූ රූපයක් ඇතුළත් කර ඇති ආකාරයද ග්‍රාම්‍ය සහ විකාර සහගත බව පැහැදිලිව පෙනී යයි.

යුනෙස්කෝව සහ “The Race Question” (1950)

පෙළපොතේ උගන්වන මෙම “වර්ගවාදී” බෙදීම්වල භයානකකම ලෝකය වටහා ගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. නාසි ජර්මනිය විසින් “ආර්ය” වර්ගයා උසස් යැයි පවසා සිදු කළ මනුෂ්‍ය සංහාරය, මෙවැනි වැරදි විද්‍යාත්මක මතවල ප්‍රතිඵලයකි.

1950 පළ වූ “The Race Question” නම් යුනෙස්කෝ ප්‍රකාශනය මෙහිදී ඉතා වැදගත් වේ. එහි මෙසේ සඳහන් වේ:

“Mankind will not soon forget the injustices and crimes which give such tragic overtones to the word ‘race’. It was inevitable that Unesco should take a position in a controversy so closely linked not only with its goals but also with its very nature.”

(සිංහල අර්ථය): “වර්ගයා” (Race) යන වචනයට ඛේදජනක අර්ථයක් ලබා දුන් අසාධාරණයන් සහ අපරාධ මිනිස් වර්ගයාට පහසුවෙන් අමතක නොවනු ඇත. යූනෙස්කෝව සිය අරමුණු සහ ස්වභාවය සමඟ දැඩිව බැඳී ඇති මෙම මතභේදය සම්බන්ධයෙන් ස්ථාවරයක් ගැනීම අනිවාර්ය විය.

එම ලේඛනයේ තවදුරටත් සඳහන් වන්නේ 1945 දී සම්මත කරගත් යූනෙස්කෝ ව්‍යවස්ථාව මගින් ජාතිවාදය (Racism) සමාජීය නපුරක් (Social Evil) ලෙස හඳුනාගත් බවයි. එය මෙසේ උපුටා දක්වයි:

“The great and terrible war which has now ended was a war made possible by the denial of the democratic principles… and by the propagation, in their place, through ignorance and prejudice, of the doctrine of the inequality of men and races.”

(සිංහල අර්ථය): “දැන් අවසන් වී ඇති ඒ මහා සහ බිහිසුණු යුද්ධය (දෙවන ලෝක යුද්ධය) ඇතිවීමට හැකි වූයේ… ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතික්ෂේප කිරීම සහ ඒ වෙනුවට අවිද්‍යාව හා පූර්ව විනිශ්චයන් හරහා මිනිසුන් සහ වර්ගයන් අතර පවතින අසමානතාවය පිළිබඳ ධර්මය (doctrine of the inequality of men and races) ප්‍රචලිත කිරීම හේතුවෙනි.”

පෙළපොතේ ඇති අඩුව සහ නිවැරදි විය යුතු දේ

යල් පැන ගිය බව: 1950 දී යුනෙස්කෝව විසින් ප්‍රතික්ෂේප කළ සහ ලෝකයට විනාශය ගෙන ආ “වර්ගවාදී බෙදීම” (Race Classification) තවමත් 2024 දී ශ්‍රී ලංකාවේ දරුවන්ට “විද්‍යාත්මක සත්‍යයක්” ලෙස ඉගැන්වීම ඛේදවාචකයකි.

මානව සමානත්වය සැඟවීම: පෙළපොත අවධාරණය කරන්නේ මිනිසුන්ගේ වෙනස්කම් (පාට, හැඩය) ගැනය. නමුත් නූතන මානව විද්‍යාව අවධාරණය කරන්නේ මිනිසුන්ගේ සමානකම (එකම විශේෂය, එකම සම්භවය) ගැනය.

වැරදි ආකල්ප වර්ධනය: කොකෝසොයිඩ්, නිග්‍රොයිඩ් වැනි වචන භාවිතය තුළින් දරුවන්ගේ සිතේ නොදැනුවත්වම මිනිසුන් උස් පහත් ලෙස හෝ වෙනස් සතුන් කාණ්ඩ ලෙස බෙදා වෙන් කිරීමේ ආකල්පයක් (Racist bias) ඇති විය හැක.

ශ්‍රී ලංකාව වැනි රටක් ලෝකයේ විවිධ රටවලින් එන සංචාරකයන් පිළිගන්නා රටකි. එමෙන්ම ලෝකයේ බොහෝ රටවලට සංක්‍රමණික ශ්‍රමිකකන් ලෙස ශ්‍රී ලාංකිකයන් ගමන් කරයි. නූතන ලෝකය ගැන දියුණු අවබෝධයක් ලබා දීමට සමත් අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාවට සකසන්නට නොහැකි වුවහොත් එහි ප්‍රතිඵලය දරුණු විය හැක.

මෙම ලිපිය සකස් කිරීමේදී UNESCO 1950 ප්‍රකාශනය සහ සමිල ද සිල්වා මහතා විසින් මතු කරන ලද සමාජ කථිකාවත පදනම් කර ගන්නා ලදී.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading