ඩගීට හමුදාව දුන් ආයුධ තොගයක් තිබිලා! ඒවා ගැන ඇහුවාම දන්නෑ කියලා!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පිළිබද විමර්ශනවලදී ඔහු විසින් ලබාගත් තවත් ආයුධ ප්‍රමාණයක් පිළිබද ඔහු නොදන්නා බව හෙළි වී තිබේ. ඔහුට ලැබුණු ආයුධ අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මධුෂ් සතුව තිබී සොයාගත් ගිනිඅවියක් සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායක දේවානන්දා මහතා 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

දශක තුනකට අධික කාලයක් උතුරු ධීවර හා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් වූ දේවානන්දා මහතා, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සහ අර්ච්චුනා රාමනාදන්ගේ නැගී ඒම හමුවේ පරාජයට පත් විය. ජාතික ජන බලවේගය ඔහුට අයත් ප්‍රදේශවල ඡන්ද ලබාගැනීමට සමත් වූ අතර, ඔහු ලැබූ ඡන්ද ප්‍රතිශතයට අසුනක් හිමි නොවුණේ අර්ච්චුනා රාමනාදන්ගේ ස්වාධීන කන්ඩායම් අංක 17ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණු නිසානේ.

මෙම අත්අඩංගුවට ගැනීමට තුඩු දුන් ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මීට වසර හයකට පෙරය. 2019 මැයි 16 වන දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ ගිනිඅවි දෙකක් සොයා ගැනුණි. එවකට පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම සැඟවුණු අවි ගබඩාවක් ලෙස මෙය හඳුනාගෙන තිබිණි.

සොයාගත් ගිනිඅවි දෙකෙන් එකක අනුක්‍රමික අංකය (Serial Number) සූක්ෂම ලෙස මකා දමා තිබූ නමුත්, අනෙක් ගිනිඅවියේ අංකය පැහැදිලිව සටහන්ව තිබීම විමර්ශකයන්ට ඉතා වැදගත් විය. එම අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්, 2001 වසරේදී එවකට අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දාගේ පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කරන ලද පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් බවයි.

CID විමර්ශනවලදී හෙළිවී ඇති පරිදි, 2000 ජුලි 19 වන දින ඩග්ලස් දේවානන්දා මහතා වෙත යුද හමුදාව විසින් විශාල අවි තොගයක් නිකුත් කර ඇත. ඊට ඇතුළත් වූ ආයුධ ලැයිස්තුව පහත පරිදි වේ:

මිලිමීටර් 13 වර්ගයේ මැෂින් ගන් 13ක් සහ ඊට අදාළ උණ්ඩ 1560ක්.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 6ක් සහ ඊට අදාළ උණ්ඩ 100ක්.

මෙම ආයුධ නිකුත් කිරීමේදී දේවානන්දා මහතා සිය පුද්ගලික අත්සනින් සහතික වී ඇත්තේ මෙම ආයුධ හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණක් භාවිතා කරන බවත්, කිසිදු මනුෂ්‍ය ඝාතනයක් හෝ සාපරාධී ක්‍රියාවක් සඳහා යොදා නොගන්නා බවත්ය. එහෙත් රජයේ අමාත්‍යවරයෙකුට නිකුත් කළ ගිනිඅවියක් රටේ කුප්‍රකටම පාතාල නායකයෙකු අතට පත්වීම බරපතල ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ.

මෙම අවි ආයුධ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වලදී හිටපු අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මෙම ආයුධවල වර්තමාන තත්ත්වය පිළිබඳව නොදන්නා බවයි. “ඒ කාලයේ ආයුධ ලබාගත් විවිධ පුද්ගලයන් දැන් විවිධ ස්ථානවල සිටිනවා, ඇතැම් අය විදේශගත වී සිටිනවා, ඇතැම් අය මියගිහින්” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති අතර, තමන් වෙත පෞද්ගලිකව ලබාගත් ආයුධවල වගකීම භාරගැනීමෙන් ඔහු මගහැර ඇති බව වාර්තා වේ.

අද (27) දිනයේ ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

1957 දී යාපනයේ උපත ලැබූ ඩග්ලස් දේවානන්දා, ඊරෝස් (EROS) සහ ඊ.පී.ආර්.එල්.එෆ් (EPRLF) සංවිධාන හරහා දෙමළ සන්නද්ධ අරගලයට අවතීර්ණ විය. පසුව ඊ.පී.ඩී.පී (EPDP) පක්ෂය පිහිටුවා ගනිමින් රජයේ හමුදා සමඟ එක්ව එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව කටයුතු කළ ඔහු, 1994 සිට 2024 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ධීවර අමාත්‍ය ධුරය ඇතුළු කැබිනට් තනතුරු රැසක් හෙබවූ දේවානන්දා මහතාට එරෙහිව මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සහ ඉන්දියාවේ චෙන්නායි හිදී සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණද, දශක ගණනාවක් පුරා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය.

කෙසේ වෙතත්, 2024 නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) යාපනය දිස්ත්‍රික්කයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ දේවානන්දා මහතාට සිය පාර්ලිමේන්තු ආසනය අහිමි විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading