අම්බලන්ගොඩ ඝාතනයේ සැකකරුවන්ව හැංගුවේ දේශබන්දුගේ නිවසකද?

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගරාධිපති ධුරයට තරඟ කළ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මහනුවර අම්පිටියේ නිවෙසක සගවාගෙන සිට ඇති බවත්, එම නිවස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් කරන්දෙණිය සුද්දා ඉදි කල නිවසක් බවට තොරතුරු ලැබී තිබෙන බවත් ආරංචිමාර්ග පවසනවා.

මෙම සිදුවීම පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලදී මෙම තොරතුරු ලැබී ඇති අතර  ඒ අනුව වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.

මීට පෙර කරන්දෙණිය සුද්දා විසින් හසලක ප්‍රදේශයේදී සිය බිරිඳගේ නමින් දෙමහල් නිවසක් ඉදිකර තිබූ බවත්  ඒ පිළිබදවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කර තිබෙනවා.

කෝසල ද සිල්වා මහතා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ පාතාල කල්ලි දෙකක් අතර පවතින දීර්ඝකාලීන ආරවුලක් මත බවට සැක පළ කෙරෙනවා.  

ඝාතනයට ලක්වූ කෝසල නැමැත්තාට එරෙහිව ද මීට පෙර 2015 වසරේ අගෝස්තු මස 04 වැනිදා පුද්ගලයකුට පොලුවලින් පහර දී මරාදැමීම සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ල වී තිබුණා.

එමෙන්ම 2014 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වැනිදා තියුණු ආයුධවලින් පහර දී කපා කොටා තවත් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු අතර  ඔහු  ඔහු කරන්දෙණියේ සුද්දා, කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී වැනි පාතාල නායකයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිසිය පවසනවා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දකුණු පළාතේ දරුණු ගණයේ පාතාල නායකයකු බව කියන ලොකු පැටී සමග පැයකට ආසන්න කාලයක් දුරකථනයෙන් සංවාදයක නිරත වී ඇති බව ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය කළ පරීක්ෂා කළ විමර්ෂනවලින් හෙළි වී ඇත.

කලක් ලොකු පැටී පාර්ශවය සමඟ විරසක වී සිටි කෝසල නැමැත්තා මෑතකදී නැවත සබඳතා පවත්වා ඇති බව ඉන් අනාවරණය වී ඇති නව පොලීසිය පවසනවා.  

පසුගිය 22දා පෙරවරුවේ 8.30 ට පමණ අම්බලන්ගොඩ නගරයේ තමන් සේවය කළ වෙළඳ ආයතනය විවෘත කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

පළමු වෙඩි ප්‍රහාරයෙන් පසුව තුවාලකරු දෙස බැලීමට නැවත ආයතනයට කඩා වැදුණු ඝාතකයා දෙවන වරටත් වෙඩි තබා පලාගොස් තිබෙනවා.

ඝාතකයින් පලාගිය යතුරුපැදිය කුරුඳුවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙම ඝාතනය පිටුපස සිටින්නේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශවය ද එසේත් නැතිනම් ලොකු පැටීගේ පාර්ශවය ද යන්න තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

කෙසේවෙතත් මෙම සිදුවිමට සම්බන්ධව දැනට අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading