අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නිති කමිටුවක සිටියේයැයි නන්දන ගුණතිලක ප්‍රකාශ කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකු සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකගේ පෙනුම පටලවාගෙනයැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නන්දන ගුණතිලක මහතා කර ඇති අපහාසය පිළිබද විමර්ශනයක් ඉල්ලා සිටිනු ඇතැයි එම ආරංචිමාර්ග පෙන්වා දෙනවා.
නන්දන ගුණතිලක කියා තිබුණේ තමා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාව සිටියදී කැදවූ නීති කමිටුවක සාමාජිකයෙකු ලෙස රංග දිසානායක සිටි බවත්, එහි අත්සන් ලේඛන තමන් සතුව ඇති බවත්.
නන්දන ගුණතිලක සැබෑ ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි වෙනත් නීතිඥයෙකු සහ ඔහුට සමාන රූපයක් ඇති රංග දිසානායක පටලවාගෙන තිබෙනවා. 2004 සිට වසර විසිඑකක් තිස්සේ මහේස්ත්‍රාත්වරයෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇති, මේ වන විටද අධිකරණ සේවයේ සිටින රංග දිසානායක මහතා කිසිදා ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ කටයුතු කර නැතැයි අප විසින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වුණා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතුවල යෙදී නැති අතර මීට පෙර එවැනි චෝදනාවක්ද එල්ල වී නැහැ.
මීට පෙර රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ශිරානි බණ්ඩාරණායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය අවස්ථාවේදී විනිසුරුවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරීව සිටි රංග දිසානායක මහතා එම දෝෂාභියෝගයට එරෙහිව කටයුතු කර තිබෙනවා. 2013 දී රංග දිසානායක පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට මාරුවීම් ලද අතර 2016 දී නැවත හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස මාරුවීම් ලබා තිබුණා. එහිදී ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව රංග දිසානායක ඉදිරියේ විභාග කළා. එම අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය අපහාස වන අයුරින් කටයුතු කර තිබුණා.
2020 පෙබරවාරි 14 වැනිදා ඩුබායි සිට ලංකාවට පැමිණ කොටුව මහේස්ත්‍රාත් නිල නිවෙසට ඉදිරිපත් කළ උදයංග වීරතුංගට ඇප ලබා දීමට පොලීසිය විරුද්ධ නොවන බව කියද්දී වුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නිත්‍යානුකූලව කටයුතු කළ රංග දිසානායක මහතා, මිග් යානා ගනුදෙනුවට අදාල නඩුවේ ඓතිහාසික තීන්දු ගණනාවක් ලබා දුන්නා.
ඔහු ශිරානි බණ්ඩාරණායක හිටපු අගවිනිසුරුවරයාගේ සැමියා වන සුජිත් හේවාවසම්ගේ නඩුවද රංග දිසානායක මහතා විභාග කළා.
මීට අමතරව 2020 පෙබරවාරි මාසයේදී රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් ඓතිහාසික නියෝගයකින් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවක් නිදහස් කරමින් ලංකාවේ නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම නීතිවිරෝධී නොවන බව පෙන්වා දුන්නා. මෙරට නීතිය අනුව වරදක් වන්නේ ගණිකා නිවාස පවත්වාගෙන යෑම,, කළමණාකරණය කිරීම ආදී කරුණු පමණක් වන අතර රැකියාවේ යෙදීම වරදක් වන්නේ නැහැ.
මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මොණරාගල සේවය කරමින් සිටියදී රංග දිසානායක මහතා 2022 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කළ තරංග දිසානායක අල්ලස් ලබාදීම ගැන වරදට වරදකරු වීමෙන් පසු මන්ත්‍රී ධුරය අහෝසි කිරිමට කටයුතු කළා. මෙය මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් බවට පත් වුණා.
පසුකාලීනව කොටුව මහේස්ත්‍රාත් සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස රංග දිසානායක මහතා කටයුතු කළ අතර උදයංග වීරතුංග රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට දුන් නියෝගය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ඔහු දුන් නියෝගය ඇතුළු ඍජු නියෝග කිහිපයක් හේතුවෙන් ඔහු ස්වාධීන සහ ඍජු විනිසුරුවරයෙකු ලෙස සමාජයේ පිළිගැනීමට ලක් වුණා.
මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුව මීට පෙර විවිධ නායකයන් යටතේ කැඳවා ඇති නමුත් රංග දිසානායක මහතා කිසිමදාක එම කමිටුවට සහභාගී වී නොමැති බවයි.
එමෙන්ම නන්දන ගුණතිලක මහතා විසින් අත්සන් ලේඛනයක් තිබෙන බවට කර ඇති ප්‍රකාශය ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර එම කමිටුව අත්සන් ලබාගැනීමක්ද සිදුකර නැති බව ඔහු ප්‍රකාශ කළා.
මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගනීවිදැයි තමා නොදන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඒ පිළිබඳව අදහස් දැක්වූ සුනිල් වටගල මහතා :
” මටත් ඇහුණා වොයිස් කට් එකක ඒක කියනවා. මම දන්නෑ නන්දන ගුණතිලක මහත්තයා එවැනි ප්‍රකාශයක් ඇයි ඒ කියන්නේ කියලා. මට හිතෙන්නේ යම් කිසි හිත් කඩාවැටීමක් එක්ක වෙන්න ඕනෑ මෙතරම් අසත්‍යයක් කියන්නේ.
මොකද ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුව කියන එක එයා විතරක් නෙවෙයි විවිධ අවස්තාවල දේශපාලන මණ්ඩල සභිකයෝ ඒ ඒ කාලසීමාවන්වල ඒ ඒ නායකත්වයන් යටතේ කැදවලා තිබෙනවා. මම දිගටම හිටියා. හැබැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපේ නීතිඥ කමිටුවකට ඇවිල්ලාත් නෑ. සහභාගී වෙලාත් නෑ. ඉදලාත් නෑ. ඒ වගේ අසත්‍යයක් නන්දන ගුණතිලක මහතා කියන්න හේතුව අපට තේරුම් ගන්න පුලුවන්. එතුමා කේන්තියෙන් ඉන්නේ. එතුමා හිටපු දේශපාලන ව්‍යාපාරය අද ජයග්‍රහණය කරලා තියෙන වෙලාවක එතුමා කේන්තියෙන් පසුවෙනවා ඔහු නැතිව මේ ජනතා ව්‍යාපාරය ඉස්සරහට යන එක සම්බන්ධයෙන්. එතුමාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගනීවිද දන්නෑ. සක්සුදක් සේ පැහැදිලියි ඔහු අපේ කිසිම නීති කමිටුවක හිටපු කෙනෙක් නෙවෙයි. සහභාගී වෙලාත් නෑ. ,
නන්දන කියනවානම් අත්සන් ලේඛනයක් තිබෙනවා කියලා. අපි කවදාවත් නීති කමිටුවේ අත්සන් ගහන සිරිතක් තිබුණේත් නෑ. මොකටද අපි නීති කමිටුවකට ගිහිල්ලා අත්සනක් ගහන්නේ. ඒකෙන්ම පේනවා ඒක අමූලික බොරුවක් කියලා”
