මෙරට පාතාල කණ්ඩායම් සහ ඇතැම් දේශපාලනඥයන් අතර පවතින සබඳතා සම්බන්ධයෙන් විමසූ විට, ඒ ගැන නව කරුණු අනාවරණය කිරිම වෙනුවට දැනටමත් සමාජයේ පවතින අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා “ඉරිදා ලංකාදීප” පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී කටයුතු කර තිබෙනවා.
එහිදී සම්පත් මනම්පේරි තරග කළ දේශපාලන පක්ෂය, ඔහුගේ සම්බන්ධතා සහ කජ්ජාගේ බිරිද කී ප්‍රකාශයක් ඇතුළු කරුණු කිහිපයක් ඔහු ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එහා ගිය ප්‍රබල කරුණු ඔහු ඉදිරිපත් කළේ නැහැ.
නව තොරතුරු ඉදිරිපත් නොකිරීම ගැන සදහන් කරමින් ඔහු කියා ඇත්තේ, එම විස්තර සියල්ල කෙටි කාලයකදී ලබාගත නොහැකි බවයි. එහිදී දැනටමත් ප්‍රබල තොරතුරු ලැබී ඇති බවක් ඔහු ප්‍රකාශ කර නොසිටීම විශේෂත්වයක්. ඔහු පෙන්වන්නට උත්සාහ කළේ සම්බන්ධතා හෙළි කර ගැනීම අසීරු බව පමණයි.
පාතාල නායකයන් සතුව තිබී ජංගම දූරකථන 32ක් සහ ලැප්ටොප් පරිගණකයක් භාරයට ගෙන තිබෙන බව පැවසූ ආනන්ද විජේපාල මහතා, ඒවායේ තිබෙන සමහර තොරතුරු මකා දමා ඇති බවත්, එම මකා දැමූ තොරතුරු නැවත ලබා ගැනීමට සිදුවන බව සඳහන් කළා.
පාතාල සාමාජිකයන් එකවරම තමන් පිටුපස සිටින දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු ලබා නොදෙන බවත් එම තොරතුරු විමර්ශන මගින් හෙළි කර ගත යුතු බවත් ආනන්ද විජේපාල මහතා අවධාරණය කළා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූ සම්පත් මනම්පේරිගේ නම සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඔහුට පොහොට්ටු පක්ෂයෙන් ප්‍රාදේශීය සභා ඡන්දයට තරග කිරීමට නාමයෝජනා දී ඇති බවත්, සම්පත් මනම්පේරිගේ ආයුධ ද සොයාගෙන ඇති බවයි.
එමෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කෙහෙල්බද්දර පද්මේට දුරකථනයෙන් කතා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ප්‍රියන්ත ජයකොඩි මහතා යනු සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයෙක් බවත් ආනන්ද විජේපාල මහතා එහිදී කියා සිටියා.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, අනුර විදානගමගේ හෙවත් කජ්ජාගේ ඝාතනයට දකුණේ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධ බවට ඔහුගේ බිරිඳගේ ප්‍රකාශයන් ඔස්සේ තොරතුරු ලැබී ඇති බවයි.
ආනන්ද විජේපාල මහතා දැක්වූ අදහස් :
“කෙටි කාලයකදී ඔය සියලු විස්තර ගන්න බෑ. ජංගම දූරකථන 32ක් තියෙනවා. ලැප්ටොප් එකක් තියෙනවා. ඒවායේ තියෙන සමහර තොරතුරු මකා දාලා. ඒ තොරතුරු නැවත ලබා ගන්න ඕනෑ. ඒ අය එකපාරටම තමන් පිටුපස ඉන්න දේශපලඥයො ගැන තොරතුරු දෙන්නෙත් නෑ. ඒ තොරතුරු අපි විමර්ශනවලදී හොයා ගන්න ඕනේ.
පාතාලය සහ දේශපාලනඥයන් අතර සම්බන්ධතා පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබුණා.
“ ඒක තමයි මම කිව්වේ දැන් නම් ලිස්ට් එක. සම්ත් මනම්පේරි කියන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා. ඒ වගේම එයාට ප්‍රාදේශීය සබා ඡන්දෙට තරග කරන්න නාමයෝජනා දීලා තියෙන්නේ පොහොට්ටු පක්ෂයෙන්. සම්පත් මනම්පේරිගෙ ආයුධත් හොයා ගත්තා. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇත්තටම කෙහෙල්බද්දර පද්මෙට දූරකථනයෙන් කතා කරලා තියෙනවා. ප්‍රියන්ත ජයකොඩි සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයෙක්නේ. ඊළගට අනුර විදානගමගේ හෙවත් කජ්ජාගේ ඝාතනය. එයාගේ බිරිදගෙ කටඋත්තරවල තියෙනවානෙ දකුණේ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් සම්බන්ධයි කියලා.”
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පාතාලය හා දේශපාලනඥයන් අතර සම්බන්ධයක් නොදැක්වූ බවක් හෙළි වන්නේ නැහැ. ජනතාවට දැනටමත් සියල්ල වැටහෙන බව පැහැදිලියි.
එහෙත්, ඒ සම්බන්ධතා ඒ තරම් ලෙහෙසියෙන් විමර්ශකයන්ට අසුවන අයුරින් පවත්වාගෙන ගිය ඒවා නොවන බව පැහැදිලියි. ඒ සම්බන්ධතා ජාල සංකීර්ණයි. ඔප්පු කිරීම අසීරුයි.
ආණ්ඩුවේ වගකීම වනුයේ ජනතාව දැනටමත් දන්නා දේවල් මාධ්‍ය වෙත කියමින් සිටීම නොවේ. විමර්ශන මගින් කරුණු අනාවරණය කර ගැනීමත්, අනාවරණය කරගත් කරුණු මත නීතිමය පියවර ගැනීමයි. එය ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. අභියෝගය වන්නේ සැබෑ කරුණු අධිකරණ ඉදිරිපිට තහවුරු කිරීමයි. ආණ්ඩුව හෙළි වූ කරුණු මාධ්‍ය වෙත ඉදිරිපත් කළ යුතුත් නැහැ. එහෙත්, මාධ්‍යවලට මේ මත්ද්‍රව්‍ය හා අපරාධ ඇල්ලීම් ගැන අදහස් පළ කරමින් ජනතා මතය හැසිරවීමට වඩා ඇත්තටම මත්ද්‍රව්‍ය සහ අපරාධ තුරන් කිරීමේ අභියෝගය ආණඩුව බාරගත යුතුයි.
