Adolescence එමී සම්මාන උලෙළ කළඹයි ! Owen Cooper ලෝකයේ ම අවධානය දිනාගයි.

ටෙලිවිෂන් නාටක මාලා සඳහා සම්මාන ප්‍රදානය කරන ලෝකප්‍රසිද්ධ “ප්‍රයිම්ටයිම් එමී” සම්මාන උලෙළ ඊයේ (15) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30 සිට උදෑසන 8.30 දක්වා පැවැත්වුණා.

මෙවර එමී සම්මාන උලෙළ එතෙක් මෙතෙක් ප්‍රේක්ෂකයන් වැඩිම ප්‍රමාණයක් විසින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව නරඹන ලද එමී සම්මාන උලෙළ ලෙස ඉතිහාසයට එක් වූ අතර මෙවර එය පැවැත්වුණේ 77 වන වරට වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් මෙම සම්මාන උලෙළ මෙවර ලෝකය පුරා අවධානය දිනා ගනු ලැබුවේ සීමිත (Limited & Anthology ) ප්‍රවර්ගයේ නාටක මාලාවක හොඳම සහය නළුවා සඳහා පිරිනමනු ලබන සම්මානය Netflix සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ Adolescence සීමිත මාලා නාටකයට රංගනයෙන් දායක වූ 15 හැවිරිදි Owen Cooper විසින් දිනා ගැනීමත් සමඟයි.

මෙම මාලා නාටකයේ අතිවිශිෂ්ට රංගන පෞරුෂයක් විහිදා දැක්වූ කූපර් මෙකී සම්මානය එතෙක් මෙතක් කාලයක් දිනාගත් ළාබාලතම නළුවා බවට පත් වීම සුවිශේෂීයත්වයක්.

“ඔබ සැම දෙනාම ඉදිරියේ මම මෙසේ සිටගෙන සිටීම මායාවක් බවයි මම විශ්වාස කරන්නේ. අවංකවම කියනවා නම්, මම මීට වසර කිහිපයකට කලින් රඟපෑම සම්බන්ධ පන්ති යන්න පටන් ගන්නකොට අද මේ විදිහට මේ වේදිකාවේ ඉන්න තියා ඇමරිකාවට පැමිණීම ගැනවත් මම කල්පනා කරලා තිබ්බේ නැහැ.  අද රාත්‍රියේ මේ සම්මානයෙන් ඔප්පු වෙන්නේ, ඔබ සවන් දෙනවා නම්, යම් දෙයක් සඳහා අවධානය යොමු කරනවා නම් සහ ඔබේ සුවපහසු කලාපයෙන් පිටතට යන්න තරම් ඔබ නිර්භීත නම්,  ජීවිතයේ ඕනෑම දෙයක් ඔබට සාක්ෂාත් කරගත හැකි බව. මම මීට වසර තුනකට කලින් කවුරුවත් ම නෙවෙයි. ඒත් දැන් මම මෙතන හිටගෙන ඉන්නවා. ඉතින්, සවන් දෙනවා නම්, යම් දෙයක් සඳහා අවධානය යොමු කරනවා නම් සහ ඔබේ සුවපහසු කලාපයෙන් පිටතට ඒ කුඩා පියවර තබන්න තරම් ඔබ නිර්භීත නම් මඟදී ලැජ්ජාවට පත් වන්න වුවත්, ඔබට කළ නොහැකි දෙයක් නෑ” යනුවෙන් එමී වේදිකාව මත දී තමන්ගේ සම්මානය ලබා ගනිමින් කූපර් පවසා සිටියා.

Owen Cooper

තමන්ගේ පාසලේ එකම පන්ති කාමරයේ ඉගෙනුම ලැබූ ගැහැනු මිතුරෙකුට පිහියෙන් ඇනීමේ චෝදනාවට ලක් වූ නව යොවුන් වියේ පිරිමි ළමයෙකුගේ චරිතය නිරූපනය කරමින් එහි මනෝභාවයන් තමන්ගේ රංගනය තුළින් මනාව නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් වසඟ කරගනු ලැබූ මෙම 15 හැවිරිදි නළු පෞරුෂය රඟපෑ Adolescence සීමිත මාලා නාටකය ද එම රාත්‍රියේ දී සම්මාන උලෙළේ තවත් වැදගත් සම්මාන ගණනාවක් ම දිනා ගනු ලැබුවා.

ඒ, හොඳම සීමිත මාලා නාටකය, සීමිත මාලා නාටකයක හොඳම ප්‍රධාන භූමිකා (පිරිමි) නිරූපනය (ස්ටීවන් ග්‍රැහැම්), සීමිත මාලා නාටකයක හොඳම සහය භූමිකා (ගැහැනු) නිරූපනය ( එරින් ඩොහර්ටි ), හොඳම සීමිත මාලා නාටක රචනය ( ජැක් තෝර්න් සහ ස්ටීවන් ග්‍රැහැම් ), හොඳම සීමිත මාලා නාටක අධ්‍යක්ෂණය ( පිලිප් බැරන්ටිනි ) ආදී සම්මානයි.

ස්ටීවන් ග්‍රැහැම්

2025 මාර්තු මාසයේ දී Netflix හරහා ලෝකය වැළඳගත් මෙකී සීමිත මාලා නාටකය එහි නැරඹුම් වාර අතින් ද දෙවන ස්ථානයේ පසුවන්නේ සම්මාන මෙන්ම ප්‍රේක්ෂක ආදරය ද නොමදව ම හිමි කර ගනිමින්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading