මෙරට තුළ ඩිජිටල් රූපවාහිනි සේවාව සම්පුර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම 2029 වසරේ දී සිදු වනු ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව අමාත්‍යංශය සඳහන් කර සිටියේ, මීට අදාළව DTTB (Digital Terrestrial Television Broadcasting) ලෙස ව්‍යාපෘතියක් ආරම්භ කරමිනුයි.
එසේ මෙම වසරේ ජුනි මාසයේ දී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මුල පිරිම සිදු කළ බව හා පසුගිය අප්‍රේල් මාසයේ දී ඒ සම්බන්ධයෙන් වන ඉංජිනේරු උපදේශන එකඟතාවට අත්සන් තැබීම ජපානයේ JICA ආයතනයත් සමගින් සිදු කළ බව ද එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙම ව්‍යාපෘතිය යටතේ 2026 – 2030 වර්ෂ අතර කාලය මෙම ඩිජිටල් රූපවාහිනි විකාශන තාක්ෂණය වෙත මුල පිරීමේ අදියර ලෙස හඳුන්වා දී ඇති අතර, ඊට අනුකූලව 2029 වන විට මෙම DTTS ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමත්, 2030 වන විට දැනට පවතින ඇනලොග් රූපවාහිනී විකාශන පද්ධතිය අක්‍රිය කිරීමත් අමාත්‍යංශයේ සැලසුම වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, මෙලෙස ඇනලොග් රූපවාහිනී සංඛ්‍යාත නිදහස් කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාත දුරකතන සන්නිවේදන සහ අනෙකුත් ඩිජිටල් ආර්ථික ක්‍රියාකාරකම් වෙත ලබා දීමට හැකි බවත්, ඒ හරහා රජයට අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යංශයේ අරමුණ බවයි එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙරට තුළ රූපවාහිනි විකාශන කටයුතු ඩිජිටල් සේවාව යටතට පත් කිරීම සම්බන්ධයෙන් 2012 වසරේ සිට ම සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර, ජපානයේ JICA ආයතනය ඒ සඳහා වන ණය පහසුකමක් ද ලබා දී ඇති නමුත්, පසුගිය කාල සීමාවේ දී එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා උනන්දුවක් නොතිබීම මෙය සාර්ථකව ක්‍රියාත්මක නොවීමට හේතු වූ බව අමාත්‍යංශය අවසාන වශයෙන් පවසා සිටියා.
අප අමතක නො කළ යුතු කරුණ නම්, නෙළුම් කුලුණ ඉදි කිරීමේ එක් අරමුණක් වූයේ ද එය මෙම ඩිජිටල් රූපවාහිනි විකාශනය සඳහා යොදා ගැනීම වන බවයි.
