අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු

ඩේලි-එෆ්ටී පතේ පල කළ ලිපියක් සම්බන්ධයෙන් අපහාසයට හා චරිත ඝාතනයට එරෙහිව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් අද (9) “ඩේලි-එෆ්ටී” පුවත් පතට නඩු පවරා ඇත.

ඒ සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ලලිත් කරුණාතිලක විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන දිනපතා ඉංග්‍රීසි පුවත් පතක් වන “ඩේලි-එෆ්ටී” පුවත්පතේ මැයි 26 වන දිනැති කලාපයේ අජිත් පෙරේරා නමැත්තෙකුගේ නමින් ” Next closure exposes antics of self-centred trade unionism” යැයි වන සිරස්තලය ඇතිව තමන් සම්බන්ධ අසත්‍ය, අපහාසාත්මක, නින්දාසහගත හා චරිතයට හානිකර ආකාරයේ ලිපියක් පළකර ඇතැයි එය නිවැරදි කර, පොදු සමාවක් සමග එවැනිම ප්‍රසිද්ධියක් ඇතිව ලිපියක් පළ කරන මෙන් 2025 ජුනි 01 වන දින “ඩේලි-එෆ්ටී” පුවත් පතේ ප්‍රධාන කර්තෘගෙන් කරනු ලැබූ නිල ඉල්ලීමට ප්‍රතිචාරයක් නොවූයෙන්, සමිතියේ සම ලේකම් ඇන්ටන් මාකස් සහෝදරයා විසින් කොළඹ දිසා අධිකරණයෙහි පවරනු ලැබූ නඩුව විනිසුරු විසින් අද දින පළමු වරට කැඳවනු ලැබිණ.

එහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ (1) විජය නිවුස් පේපර්ස් (පුද්ගලික) සමාගම (2) “ඩේලි-එෆ්ටී” පුවත් පතේ ප්‍රධාන කර්තෘ නිස්තා කාසීම් සහ (3) අදාල ලිපියෙහි රචකයා ලෙස නම සඳහන් අජිත් පෙරේරා යන පාර්ශවයන් ය.

එම ලිපියෙහි භාවිත භාෂාවට අනුව එය කරුණු නොදැන ලියූ ලිපියක් නොව, වසර 50 ට වැඩි කාලයක් දේශීය හා ජාත්‍යන්තරව වෘත්තීය සමිති ක්ෂේත්‍රයෙහි අප සමිතියේ සම ලේකම් ඇන්ටන් මාකස් සහෝදරයා විසින් කැපවීමෙන් කටයුතු කර දිනාගත් පිළිගැනුම හා කීර්තිය හිතා මතා හෑල්ලු කිරීමට හා බාල්දු කිරීමට සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් ලියූවක් යැයි නඩුවට අදාලව පැමිණිල්ල විසින් කරුණු ඉදිරිපත්කර ඇත.

මෙම නඩුව අද පළමු දින කැඳවීමේදී පැමිණිල්ල විසින් ඉල්ලා සිටි ඇන්ටන් මාකස් සහෝදරයා සහ අපගේ වෘත්තීය සමිතිය සම්බන්‍ධව නැවත එවැනි ලිපි හෝ ප්‍රවෘත්ති පළ කිරීම තාවකාලිකව තහනම් කිරීමේ වාරණය විනිසුරුවරයා විසින් ලබා දෙන ලදී.

නඩුව විමසීමේ ඊළඟ දිනය 2025 ජුනි මස 23 ලෙස දන්වනු ලැබිණ. පැමිණිළි පාර්ශවය වන ඇන්ටන් මාකස් සහෝදරයා වෙනුවෙන් නීතීඥ ප්‍රමෝද් චානක පොල්පිටිය මහතාගේ උපදෙස් මත නීතීඥ ගිහාන් සිරිවර්ධන මහතා සහ නීතීඥ සඳමල් රාජපක්‍ෂ මහතා පෙනී සිටියේ ය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading