බ්‍රිතාන්‍ය කලාකරුවන්ගේ නිර්මාණ කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් යොදාගැනීම සීමා කරන යෝජනාවක් එරට සාමි මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගත්තා. ඒ, කලාවේ අයිතිය, බුද්ධිමය දේපළ මෙන්ම කෘත්‍රිම බුද්ධිය ගැන විශාල සංවාදයක් මතු කරමින්.
බ්‍රිතාන්‍ය කලා ලෝකය කැළඹූ මේ සිදුවීම අනෙක් පැත්තෙන් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නව තාක්ෂණය පිළිබඳ උනන්දු අයගේත් විශාල අවදානයක් ලැබුවා.
මෙයට පදනම් වී තිබුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙන ආ දත්ත පනතට විපක්ෂයෙන් යෝජනා කළ සංශෝධනයක්. ඒ සංශෝධනයට ඇතුළත් වුණේ කෘත්‍රිම බුද්ධි මොඩලයන් පාවිච්චි කරන සමාගම් විසින් යම්කිසි බුද්ධිමය දේපළක් පාවිච්චි කරන්නේ නම්, ඒ බව එහි හිමිකරුවන්ට දැනුම් දිය යුතු බව. ඒ අනුව, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සංශෝධන පනත් කෙටුම්පත සාමි මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 272ක් ලබමින් සම්මත වුණා. සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ බීබන් කිඩ්‍රොන් නම් මන්ත්‍රීවරයායි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් සමන්විතයි. මෙම යෝජනාව ඉදිරිපත් වුණේ සාමි මන්ත්‍රී මණ්ඩලයට. දැන් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් වනු ඇති.
මෙම සංශෝධනයට සහයෝගය පළ කරමින් පසුගිය සතියේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ලිපියක්ද යොමු කර තිබුණා. බීට්ල්ස් කණ්ඩායමේ පෝල් මැක්කර්ට්නි, එල්ටන් ජෝන්, කෝල්ඩ්ප්ලේ සංගීත කණ්ඩායම, ඩුආ ලිපා සහ අතිප්‍රකට රංගන ශිල්පී ඉයන් මැක්කලන් ඇතුළු පිරිස් අත්සන් කළා. බ්‍රිතාන්‍ය රාජකීය ශේක්ෂ්පියර් ඇකඩමියද එයට අත්සන් කළා. සමස්තයක් ලෙස ප්‍රකට කලාකරුවන් සහ ආයතන සිය ගණනක් ලිපියට අත්සන් කර තිබුණා. ඊට අමතරව ගාඩියන් ඇතුළු ලොව පුවත්පත් ගණනාවක්ද කෙටුම්පතට සහයෝගය පළ කර තිබෙනවා.
‘අප ජීවිත කාලයක් පුරා හරිහම්බ කළ ශ්‍රමය නොමිලයේ දීලා දාන්න එපා‘ යනුවෙන් කලාකරුවන් ඉල්ලා තිබුණා. මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල වුවමනාව සහ ලාභය වෙනුවෙන් කලාත්මක සහ බුද්ධිමය ශ්‍රමය අවසරයකින් තොරව පාවිච්චි කරන්නට ඉඩ නොදිය යුතු බව ඔවුන් ඉල්ලා සිටියා. ඒ අනුව තමන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන්නේ නම් ඕනෑම සමාගමකට අවසර ගත යුතු ලෙස නීතිය සංශෝධනය කරන ලෙස ඔවුන් ඉල්ලුවා.
‘අපව තාක්ෂණ දියුණුවට එරෙහි අය ලෙස ලේබල් කරන්න එපා‘ යනුවෙන්ද මෙම නීති සංශෝධනය ඉල්ලා සිටින අය පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍ය සතුව විශාල කලාත්මක නිර්මාණ ප්‍රමාණයක් සහ කලාත්මක ආයතන පද්ධතියක් තිබෙන බව. එම නිර්මාණශීලීත්වය සහ බුද්ධිමය බලය තමන්ගේ වෘත්තියේ ජීවනාලිය බවත් ඔවුන් පවසනවා. ඔවුන් පවසන්නේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්නා සමාගම් බොහොමයක් විදෙස් සමාගම් බව.
ඒ අනුව මෙම ගැටුමේ එක් පැත්තක තිබෙන්නේ බ්‍රිතාන්‍යයට ලෝක කලාව කෙරෙහි තිබෙන ආධිපත්‍ය්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍යය යටත්විජිතවාදයත් සමඟ තමන්ගේ කලාත්මක සහ සංස්කෘතික අංගවල බලපෑම ලොව පුරා පැතිරවීමට සමත්ව සිටිනවා. ශේක්ෂ්පියර් නාට්‍ය මෙන්ම මෑතකාලීනව බීට්ල්ස් වැනි සංගීත කණ්ඩායම්, මොන්ටි පයිතන් වැනි හාස්‍යමය නිර්මාණකරුවන් යනාදී බොහෝ අය කලාවේ පුරෝගාමී කාර්යයක් ඉටු කළා. උක්ත ලියුම යවා ඇත්තේ එවැනි බලවත්, ධනවත් සහ ප්‍රභූ කලාකරුවන් පිරිසක් බවත් මතක තබාගත යුතුයි. මේ වෙද්දී කෘත්‍රිම බුද්ධිය ලොවපුරා සාමාන්‍ය ජනතාවගේ අවස්ථා, ශ්‍රමය මෙන්ම බුද්ධිමය සම්පත් කොල්ලකමින් සිටිනවා. එහෙත්, මෙම කියන පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එවැනි සාමාන්‍ය ජනතාව අතරින් නොව, නැගී එන තාක්ෂණ ප්‍රභූන්ට එරෙහිව නැගී සිටින බ්‍රිතාන්‍ය කලාත්මක ප්‍රභූන් පිරිසක් බව සිහිතබාගත යුතුයි. එවැනි පසුබිමකයි බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය උඩ කී කෙටුම්පත සම්මත කරගෙන සිටින්නේ.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළු විශාල පිරිසක් උක්ත සංශෝධන කෙටුම්පතට සහයෝගය පළ කරනවා.
කෙසේ වෙතත්, සාමි මන්ත්‍රී මණ්ඩලයේ සම්මත වූ මෙම යෝජනාව නැවත නියෝජිත මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වෙනවා. නියෝජිත මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතක් සංශෝධනය කරන ලෙසයි උක්ත සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව, මේ වන විටත් විශාල සංවාදයක් කලාකරුවන් සහ තාක්ෂණ හිමිකරුවන්ට අදාලව බ්‍රිතාන්‍යය තුළ ඇතිව තිබෙනවා.
