අනුරට කණේ පහරක්! ව්‍යාපාරික ප්‍රභූන්ගේ LMD සඟරා කඩමාල්ලට වසරේ ශ්‍රී ලාංකිකයා නන්දලාල්ලු!

තරිඳු උඩුවරගෙදර

ජනතා ඉල්ලීම් කුමක් වුව ඒවා නොතකමින් ආර්ථිකය තමන්ට ඕනෑ ලෙස හැසිරවීම අගයමින් වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කිරීමට ව්‍යාපාරික පැළැන්තිය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදෙන කල්ලියක් විසින් පවත්වාගෙන යන එල්එම්ඩී සඟරාව තීන්දු කර තිබේ.

කෙසේ වෙතත්, මේ සඟරාව සැබෑ ලෙස ඇගයීමට ලක් කර ඇත්තේ සීයට 17ක් පමණක් ඡන්ද ලබාගත් රනිල් වික්‍රමසිංහවය.

විශාල ජන සහයෝගයක් සහිතව, වසර හැත්තෑවක කාලයක් තිස්සේ පැවති දේශපාලන බලාධිකාරය අවසන් කරමින් රටේ ජනාධිපති ධුරයට අනුර කුමාර දිසානායක පත් වූ, 2024 වර්ෂයේදී, ජනාධිපතිවරයාට අතුල් පහරක් එල්ල කරමින් මෙලෙස රනිල්-නන්දලාල් හවුලට නල්ලමලේ වසරේ ශ්‍රී ලාංකිකයා පට්ටම පුදා තිබේ. ඔය පට්ටම මීට පෙර වසරවල මහින්ද රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ යනාදීන්ටත් පුදා ඇති එකකි.

මෙවර වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස තෝරා පත් කරගැනීමේ කෙටි ලැයිස්තුවට කිෂාන් බාලේන්ද්‍රද ඇතුළත් කර තිබුණි. ඊට අමතරව යුපුන් අබේකෝන්, චමරි අතපත්තු යන අය කෙටි ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. යෙවාන් ඩේවිඩ්, සනත් ජයසූරිය, ජයන්ති කුරු-උතුම්පාල, හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ ඇතුළු පිරිසක් වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස තෝරා පත් කර ගැනීමට කෙටි ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් ජනාධිපති අනුර කුමාර දිසානායක එම කෙටි ලැයිස්තුවටවත් ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි.

මෙම සඟරාව මීට පෙර මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට පවා වසරේ ශ්‍රී ලාංකිකයාට හිමි සම්මානය ලබා දී ඇත. එවැනි පසුබිමක අනුර කුමාර දිසානායක සැලකිල්ලටවත් ගෙන නොමැත්තේ, ඉදිරියේදී ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමේදී නන්දලාල් වීරසිංහව සැබෑ වීරයෙකු ලෙස ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව නිසා බව අපගේ අදහසය. ඇත්තෙන්ම මෙය නන්දලාල් වීරසිංහ නම් පුද්ගලයාටත් වඩා ඔහුත්, රනිල් වික්‍රමසිංහත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඇතුළු පාර්ශ්වයන් විසින් ජනතාව දැඩි මර්දනයකට ලක් කරමින් බලහත්කාරයෙන් රට මත පටවමින් සිටි ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙත සම්මාන දීමකි. එම ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කරගෙන ආ නන්දලාල්ලාගේ නල්ලමලේ ආණ්ඩුවට ජනතාව ඡන්ද ලබා දුන්නේ සීයට 17ක් පමණක් බව සඟරාවට අදාල නැත.

ජනවාරි 15 වැනිදා නන්දලාල් වීරසිංහ හට වසරේ ශ්‍රී ලාංකිකයාට හිමි සම්මානය එල්එම්ඩී සඟරාව ප්‍රකාශයට පත් කරන මීඩියා සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් එහි කළමණාකරණ අධ්‍යක්ෂ බ්‍රයන් එම්මෑනුවල් අතින් ලබා දී තිබුණි. මෙම සඟරාවේ කතෘවරයා වන්නේ හිරාන් හේවාවිසෙන්ති වේ.

ජනාධිපතිවරයා හෝ රටේ දේශපාලන නායකත්වය කෙසේ වෙනස් වුවද කිසි වෙනසක් නැතිව රට පාලනය කරන නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරී පැළැන්තිය සහ ව්‍යාපාරික පැළැන්තිය සතු බලය පෙන්වමින් එම සඟරාව වසරේ ශ්‍රී ලාංකිකයාව නම් කර තිබේ.

2024 වර්ෂය ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලසීමාවක් වූ බවත් එවැනි කාලසීමාවක නන්දලාල් වීරසිංහ රටට බලාපොරොත්තුව සැපයූ බවත් සඟරාවෙහි සඳහන් කර තිබේ. ජනතාව සහනාධාර ඉල්ලූ බවත්, ජනතාව ආර්ථික පීඩනය මැද ඉල්ලීම් ඉදිරිපත් කළ බවත් ඒ සියල්ල මැද නන්දලාල් ආර්ථික නෞකාව ‘ඉදිරියට‘ ගෙනගිය බවත් එහි සඳහන් කර තිබේ. ජනාධිපතිවරුන් තුන්දෙනෙක් මාරු වුණත්, නන්දලාල් ඉදිරියටම ගිය බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පාලකයන් කෙලෙස මාරු වුණත් ඇත්තෙන්ම රටේ ආර්ථිකය පාලනය කරන්නේ නන්දලාල් වැනි නිලධාරීන්ට අවශ්‍ය ලෙස බව තහවුරු කරමිනි.

රටේ ජනතාව පිට විශාල බරක් පටවමින්, මෙම සඟරාව පසුපස සිටින ව්‍යාපාරික පැළැන්තියට සහන පිට සහන ලබාදෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම්, ඊපීඑෆ් අරමුදල කප්පාදු කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්, සහ රටේ ණය බර තවත් වැඩි කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම ආදී බොහොමයක් නන්දලාල්ගේ හපන්කම් ලෙස මෙම සඟරා කඩමාල්ල විසින් උත්කර්ශයට නඟා තිබේ. රටේ ලක්ෂ ගණනක් සාමාන්‍ය ජනතාවට විදුලිය අහිමි කළ ප්‍රතිපත්ති මෙන්ම දරාගත නොහැකි බදු බරක් පැටවීමත්, ලංකාවේ සිටින කොල්ලකාරී ව්‍යාපාරිකයන් බදුවලින් බේරාගැනීමත් මේ සඟරා කඩමාල්ල නන්දලාල්ව ඇගයීමට හේතු ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙරට මූල්‍ය ප්‍රතිපත්ති වෙත සිය අධිකාරය නන්දලාල් වීරසිංහ යොමු කළ බවත්, මහබැංකුව අභ්‍යන්තරයේ සිය සම්බන්ධතා පාවිච්චි කරමින් එහි ‘ස්වාධීනත්වය‘ තහවුරු කළ බවත් එල්එම්ඩී කල්ලියේ උක්ත තීන්දුව සාධාරණීකරණය කරමින් ලියා තිබේ.

කෙසේ වෙතත්, එල්එම්ඩී සඟරාව සඟවා ඇති කරුණ වන්නේ මෙලෙස ‘නන්දලාල් වීරසිංහ‘ විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ලෙස සඳහන් කරමින් සම්පූර්ණයෙන් වර්ණනා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති බවය. ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහට දීමට නොහැකි සම්මානය වීරසිංහට ලබා දීමක් ලෙසත් මෙය අර්ථකතනය කළ හැක.  

සම්මානය ලබා දීම සාධාරණීකරණය කරන්නට ලියූ සටහනේ මෙසේ ඇත.

‘පසුගිය මැතිවරණයට පෙර නන්දලාල් වීරසිංහ තීරණාත්මක පියවරක් තබමින්, පවතින ආර්ථික ප්‍රතිපත්ති නැවත හැරවුවහොත් ශ්‍රී ලංකාව වසර දෙකකට පමණ පෙර අත්විඳි මූල්‍ය හා සමාජයීය අර්බුද නැවත ඇති කිරීමට හේතු වනු ඇතැයි අනතුරු හැඟවීය.‘

ඒ අනුව මැතිවරණයට පෙර, මැතිවරණයට බලපෑම් කරමින් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අර්බුදයක් එනවායැයි ඔහු කී කතාව ඔහුට සම්මානය ලබා දීමට හේතු වූ වර්ණනා පාඨයක් වී තිබේ. නැවතත් සිහිපත් කළ යුත්තේ ඔය කියන ආර්ථික ප්‍රතිපත්ති ජනතාවට දැවැන්ත පීඩාවක් වූ බවත් විදුලිය නැති අඳුර, ආහාර නොමැති මන්දපෝෂණය, වැටුපක් නොමැති වේදනාව මෙන්ම මර්දනයක් දියත් කිරීමට හේතු වූ බවය.

එමෙන්ම නන්දලාල් වීරසිංහ- රනිල් වික්‍රමසිංහ ජනතාව හමුවේ සීයට 17ක් පමණක් ඡන්ද ලැබූ බවත් අලුත් ආර්ථික මාවතක් ජනතාව ඉල්ලා සිටි බවත් නන්දලාල් වීරසිංහගේ කසඩ ප්‍රතිපත්ති වෙනුවට විකල්ප ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කිරීමක්, ණය විගණනයක් මෙන්ම නන්දලාල්ලා ඇතුළු නිලධාරී පැළැන්තිය සහ ආර්ථිකය අල්ලාගෙන සිටින දූෂිත ප්‍රභූ පැළැන්තිය පරාජය කිරීමක් ජනතාව අපේක්ෂා කළ බව මෙම සඟරා කඩමාල්ල නොතකා හැර තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading