2024 අයවැය සහ වැඩ කරන ජනතාව

මධුලිකා ගුණවර්ධන සහ සින්තුජා ශ්‍රීධරන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 මාර්තු මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමෙන් පසු, පළමු අයවැය 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය “සුභසාධන” අයවැයක් ලෙස හඳුන්වන නමුත්, එය සැබෑ ලෙසම දැඩි කප්පාදු යෝජනා ඇතුළත් අයවැයකි. එබැවින් මෙය බහුජාතික ව්‍යාපාර සහ දේශීය ධනේෂ්වරයේ වුවමනාවට සැකසූ මුදලාලි අයවැයකි. නිදහස් වෙළඳපොළ නියෝජනය කරන දේශීය රැකවලුන් ශක්තිමත් කරන මේ අයවැය, දූෂණයට විසඳුම් සෙවීමේ එකම මාවත ලෙස රාමුගත කර ඇත.

මේ අයවැය රාජ්‍ය අංශය කප්පාදු කිරීමට පිඹුරුපත් සකසද්දී, පොදු භාණ්ඩ හා සේවා පෞද්ගලීකරණය සඳහා කොන්දේසි සැලසුම් කරයි. ආහාර සුරක්ෂිතතාවයට හානි කරමින්, කෘෂිකර්මාන්තය නූතනකරණයකට සැලසුම් කරයි, IMF කප්පාදු කොන්දේසිවලට අනුබද්ධව සමාජ ආරක්ෂණ ආධාර සඳහා අවම වියදමක් සැලසුම් කරයි. වක්‍ර බදු පැනවීම හරහා රාජ්‍ය ආදායම් උත්පාදනයේ බර, වැඩ කරන ජනතාව වෙත පවරයි. අයවැයේ සැබෑ බලපෑම වනුයේ ජනතාවගේ යහපැවැත්ම ක්‍රමානුකූලව අඩපණ කිරීමත්, කාන්තාවන්, වැඩිහිටියන්, ළමුන් සහ ආබාධ සහිත පුද්ගලයින් ආන්තිකකරණයට ලක් කරනු ලැබීමත් ය.

රාජ් ණය සහ ආයෝජන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසියක් වන්නේ 2027 වසරේ සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීමේදී සියයට 4.5 ක දළ මූල්‍ය අවශ්‍යතාවයක් පවත්වා ගත යුතු බවයි. ශ්‍රී ලංකාවේ 2024 අයවැය තුළ ණය ආපසු ගෙවීම සඳහා මුළු වියදමෙන් සියයට 38 ක තරම් විශාල මුදලක් වෙන් කරන්නේ මෙම කොන්දේසියට අනුගත වීමටය. මීට අමතරව, රාජ්‍ය ණය සීමාව රු. බිලියන 3,900 සිට රු. බිලියන 7,350ක් දක්වා වැඩි කර ඇත්තේ ද විදේශ ණය ආපසු ගෙවීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2022 දී සියයට 7.8 කින් හැකිලී ගියේය. ආර්ථිකයේ හැකිලීමත් සමඟ පෞද්ගලික අංශයේ ආයෝජන අඛණ්ඩව පිරිහෙමින පසුබිමක වුණත්, රජය කළ යුත්තේ ආර්ථිකය සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා ආයෝජනය කිරීමේ ප්‍රතිචක්‍රීය පියවර වේ. එසේ වුවද, 2024 අයවැය ඇස්තමේන්තු අනුව, ලබන වසරේ රාජ්‍ය ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.2 (2022) සිට සියයට 3.8 දක්වා පහත වැටෙනු ඇත. රජයේ අයවැය යෝජනා (අයවැය කතාවේ ඇමුණුම 3 බලන්න) රු. බිලියන 224.5ක් වන අතර, එය 2024 සඳහා ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7ක් පමණ සුළු ප්‍රමාණයක් වේ. (මෙය, 2024 අයවැය ඇස්තමේන්තු මත පදනම්ව ලියුම්කරුගේ ගණනය කිරීමකි). මෙම සන්දර්භය තුළ, ආදායම ඔවුන්ගේ අපේක්ෂාවන්ට අනුව ඉහළ නොයන්නේ නම් සහ ලබන වසර සඳහා අවශ්‍ය සියයට 0.8 ප්‍රාථමික අයවැය අතිරික්තය (මෙහිදී ණය සේවාකරණය සැලකිල්ලට නොගෙන ආදායම අඩු වියදම් ලෙස ගණනය කෙරේ) සපුරාලිය නොහැකි නම්, අයවැය යෝජනා සහ වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම් රජය විසින් කපා හැරීමට පවා ඉඩ ඇත.

රාජ් ආදායම් සහ බදු

2023 වසර සඳහා සාක්ෂාත් කර ගත නොහැකි තරම් ඉහළ ආදායම් ඉලක්ක තිබියදීත්, රජය 2024 දී බදු ආදායම සියයට 47 කින් ඉහළ නැංවීමේ තවත් ඉලක්කයක් ලබා දී ඇත. මේ සමඟ සෘජු බදු සියයට 25 කින් වැඩි වෙනවාට සාපේක්ෂව වැට් යන වක්‍ර බදු ආදායම සියයට 107 කින් වැඩි කර ඇත. මෙවන් වූ ප්‍රතිගාමී බදු ප්‍රතිසංස්කරණවලට වැට් බදු අනුපාත සියයට 18 දක්වා වැඩි කිරීම සහ වැට් බදු සහ SVAT බදු නිදහස් ඉවත් කිරීමත් ඇතුළත් වේ. එක් නිදසුනක් පෙන්වා දෙන්නේ නම්, කුකුළු ආහාර වැට් බද්දෙන් නිදහස් කර නොමැති හෙයින් එය නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට දායක වන අතර එමගින් බිත්තර සඳහා පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව ශුන්‍ය කරයි.

රාජ් ආයතන පෞද්ගලීකරණය, අපනයන සහ විදේශ වෙළඳාම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවෘතවම පවසන පරිදි, රාජ්‍ය ආයතන “වාණිජ පදනමක් මත” ක්‍රියාත්මක කිරීමට, අත්‍යාවශ්‍ය මහජන උපයෝගිතා (විදුලිය, ඉන්ධන සහ ගෑස්) “පිරිවැය ප්‍රතිසාධනය” (cost recovery) මිලකරණ යාන්ත්‍රණයන්ට රජය දිගටම යටත් කරනු ඇත. 2022 සිට විදුලි පිරිවැය 400% කින් වැඩි වී ඇති අතර එමඟින් නිෂ්පාදකයා විසින් මෙහෙයවන උද්ධමනය පමණක් නොව වැටුප් අවරෝධනයක් ද ඇති කරයි. එහි ප්‍රතිඵලය වන්නේ මේ වසරේ නිවාස ලක්ෂ පහක් ජාතික විදුලි පද්ධතියෙන් පිටතට විසි වීමයි. මිල ඉහළ දැමීම තුළින් සුරැකුම් ශ්‍රමය මත පීඩනය වැඩි කර තිබේ. Colombo Urban Lab පෙන්වා දෙන්නේ, මෙම මිලකරණ යාන්ත්‍රණයන් හේතුවෙන් විදුලි පරිභෝජනය අඩු කිරීමේ අරමුණින්, ආහාර පිසීම, පිරිසිදු කිරීම යනාදි සුරැකුම් වැඩ සඳහා ශ්‍රමය සහ කාලය වැඩිපුර වැය කරන, මන්දගාමී ක්‍රමෝපායන් යොදා ගැනීමට කාන්තාවන් තල්ලු කර ඇති බවය. එනයින් මෙවර අයවැයේ කාන්තාවන් කොතැනකද?

රාජ්‍ය ආයතනයන් තවදුරටත් රජයේ අරමුදල් මගින් ප්‍රාග්ධනීකරණය හෝ සහයෝගය නො‍ලබනු ඇත; එය පොදු සේවාවන්හි මිල දැඩි ලෙස ඉහළ නැංවීමට හෝ පුද්ගලීකරණය කිරීමට තුඩු දෙනු ඇත. මූල්‍ය ස්ථායිතාව ඇති කිරීම සඳහා ලංකා බැංකුව සහ මහජන බැංකුව ප්‍රාග්ධනීකරණය කිරීමට අයවැය යෝජනා කරන නමුත් මෙම ඇප දීම ඔවුන්ගේ කොටස්වලින් සියයට 20 ක් වෙන් කිරීමේ කොන්දේසියට යටත් වේ. මෙය රාජ්‍ය බැංකු අංශය පෞද්ගලීකරණය කිරීමේ ආරම්භක පියවරයි.

විදේශ වෙළඳ ලිබරල්කරණය සහ ආයෝජක හිතකාමී ප්‍රතිසංස්කරණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම අයවැය මගින් නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍රවල ඉඩම් ප්‍රතිසංස්කරණ ඇතුළු නව නීති සහ සංශෝධන 60ක් යෝජනා කර ඇත. ණය බර නිසා ඉඩම් අහිමි වීමෙන් හෝ ඔවුන්ගේ යහපැවැත්ම සඳහා තීරණාත්මක සුබසාධන හිමිකම් අහිමි වීමෙන් වැඩ කරන ජනතාව මහා පරිමාණයෙන් ඉඩම්වලින් නෙරපා හැරීමේ පූර්ව පියවරක් ලෙස මෙම අධිවේගී IMF ප්‍රතිසංස්කරණ ඇතුළත් අයවැය හැඳින්විය හැක.

සමාජ සුබසාධනය සහ අහිමි කිරීම

මෙම අයවැය යෝජනාවේ සුබසාධනවාදයේ හදවත ලෙස ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා මාසික ජීවන වියදම් රු. 10,000ක වැටුප් වැඩිවීමයි.  එහෙත් මෙම සහනයේ සීමිත බව කරුණු තුනකින් විදහා දැක්විය හැක. පළමුව, 2023 අගෝස්තු දරිද්‍රතා රේඛාවට අනුව, මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා හතර දෙනෙකුගෙන් යුත් පවුලකට අවම වියදම රු. 64,000 කි. මේ සහනය රාජ්‍ය අංශයේ සේවකයන්ට පමණයි. දෙවනුව, 2021 මිල මට්ටම් (NCPI, 2023 සැප්තැම්බර්) හා සසඳන විට වැටුප්වල සැබෑ වටිනාකම (සැබෑ වැටුප) සියයට 51 කින් කඩා වැටී ඇත. මේ අනුව රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ සැබෑ වටිනාකම රු. 4,900 පමණකි. අවසාන වශයෙන්, 2024 දී අපේක්ෂා කරන ලද වැට් බදු වැඩි කිරීම සහ විදුලි ගාස්තු වැඩිකිරීම් දෙක හරහා ජීවන වියදම සමනය කිරීම මගින් මෙම යෝජනාව තවදුරටත් හෑල්ලුවට ලක් වේ.

අනෙක් අතට, අස්වැසුම, ආබාධ සහිත පුද්ගලයන්, වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා සමාජ ආරක්ෂණ මුදල් හුවමාරු සඳහා වියදම් වැඩි කරන බව රජය කියා සිටී. ඉහත සදහන් බලපෑම් තුන හේතුවෙන් මෙම මුදල් ආධාරවල සැබෑ වටිනාකම නැවතත් පිරිහීමකට ලක් වේ. තවද, 2024 සඳහා ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙම පුළුල් කරන ලද සමාජ ආරක්ෂණ ජාල සඳහා වන මුළු වියදම සියයට 0.65ක් ලෙසම පවතී. සමාජ ආරක්ෂණය සඳහා IMF විසින් නියම කරන ලද මෙම අවම වියදම් සීමාව ශ්‍රීි ලංකාවේ ඓතිහාසිකව නිරීක්ෂණය කරන ලද වියදම්වලට වඩා කිසිදු වෙනසක් නොකරයි.

ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම, පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහතික කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට ආධාර කිරීම සඳහා මෙම අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 250, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.001ක් තරම් සුළු ප්‍රමාණයකි. තවද, ත්‍රිපෝෂ ඇතුළු ආහාර වැඩසටහන්, පාසල් ආහාර වේල් යනාදිය සඳහා අයවැයෙන් වෙන් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.13ක් පමණි. මෙම ප්‍රතිපාදන, මෙරට නිවාස ඒකක අතරින් සීයට 62ක් ණයට ආහාර ගන්නා බව UNICEF (2023)  කරන පෙන්වාදීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක්ද? ආහාර සහ උපයෝගිතා මිල ගණන් ඉහළ යාමත් සමග පීඩා විඳින කාන්තාවන්ට මෙම අයවැයෙන් ලබා දෙන්නේ ඉතා කුඩා සහනයකි.

ආහාර පද්ධතිය සම්බන්ධයෙන් ගත් කල, කෘෂිකර්මාන්තය සඳහා වන යෝජනා කෘෂි නවීකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘති සහ අපනයනය ඉලක්ක කරගත් මූල්‍ය භෝග (cash crops) වගා කිරීම අවධාරණය කරයි. රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි කලාප යනාදිය යටතේ රජයේ ඉඩම් විකිණීම, කුඩා පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදන ස්වෛරීභාවය උල්ලංඝනය වන මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට නියමිතය. මෙම ගොවි ඉඩම් කොල්ලය දැඩිව හෙළා දැකිය යුතුය. මීට සමාන වාණිජකරණ සැලසුම් ධීවර ක්ෂේත්‍රයටත් යෝජනා කරන්නේ,  “නාස්තිය අවම කිරීම සහ ඵලදායිතාව ප්‍රශස්ත කිරීමේ” අරමුණින් ධීවර වරායන් අර්ධ රාජ්‍ය ව්‍යුහයන්ට යටත් කිරීම හරහාය.

අධ්යාපනය සහ සෞඛ් අංශ සඳහා වියදම්

පහත දත්තවලින් පෙන්වා දී ඇති පරිදි, අධ්‍යාපන  සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පසුගිය වසර පහ තුළ ලබාදුන් ප්‍රතිපාදන අවම වෙමින් පවතී. අප සතුව ඇති දත්තවල පළාත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොවූවත්, මධ්‍යම රජයේ වියදම් පහත වැටීමෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ මානව සංවර්ධනයේ ප්‍රබලම කුළුණු දෙක වූ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ක්‍රම අත්හැරීමයි. පසුගිය වසර පහ තුළ අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන (දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස) පහත දැක්වෙන පරිදි කප්පාදු කර ඇත. ප්‍රාග්ධන වියදම් තව තවත් කපා හැරීමක් අත්විඳින විට, සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ද හැකිලෙන තත්ත්වයක පවතින බව අමතක නොකළ යුතුය. මෙම සන්දර්භය තුළ, ආර්ථික අර්බුදය සමඟ තීව්‍ර වන සමාජ පීඩාව සමනය කිරීම සඳහා ඉහළ මට්ටමේ ආයෝජනයක් අත්‍යාවශ්‍ය වේ.

මේ වන විට මුදල්මය ආධාරවල අගය ඉතා පහත් මට්ටමක පහළ මට්ටමකට බාල්දු වී ඇත. සමාජ ආරක්ෂණය අවශ්‍ය පවුල් සංඛ්‍යාව වැඩි වී ඇතත් එවන් පවුල් විශාල සංඛ්‍යාවක් තාක්ෂණික ප්‍රතිලාභී ඉලක්ක කර ගැනීමේ යාන්ත්‍රණයන් හේතුවෙන් බැහැර කර ඇත. මෙවන් වාතාවරණයක් තුළ විශ්වීය පදනමක් මත ආහාර වැඩසටහන්, විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා සහනාධාර සහ, නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා පූර්ණ නිදහස  ප්‍රවේශය වැනි පැහැදිළි සහ පුළුල් ආරක්ෂණයන් ඇතුළත් සමාජ ආරක්ෂණ පද්ධතියයක් මෙම අර්බුදය තුළ නැවත නැවතත් පරිකල්පනය කර ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එහෙත් සමාජ සුබසාධනය ලෙස මුදල් සහන වෙන් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, මේ මහා පරිමාණ අර්බුදය හබරල කොළයකින් වැසීමට තැත් කිරීමකි. රාජ්‍ය ආයතන, පොදු භාණ්ඩ හා සේවා පුද්ගලීකරණ සඳහා වන බලහත්කාරය, වෙලඳපොළ ලිහිල් කිරීම සහ වැඩ කරන ජනතාව මත වැඩි කරන ලද වක්‍ර බදු තුළින් මේ අයවැය පිළිබිඹු කරන්නේ, වැඩ කරන ජනතාවට එරෙහි වූ, මුදලාලි අයවැයකි.

ආචාර්ය අහිලන් කදිර්ගාමර් විසින් මෙහෙයවනු ලබන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ව්‍යාපෘතියක් සඳහා මෙම පර්යේෂණයට නීතිය සහ සමාජ භාරය සහාය දක්වයි.

References

Colombo Urban Lab, 2023. Breaking Point: Impact of Sri Lanka’s Economic Crisis on Colombo’s Working Class Poor. Policy Brief. April 2023.

Ministry of Finance, 2022. Annual Report 2022.

UNICEF, 2023. UNICEF Sri Lanka Humanitarian Situation Report No. 1 (Economic Crisis): January-June 2023

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading