දැන් ආර්ථිකේට හොඳයිලු! ඒ නිසා වාහන බලපත්‍ර දෙන්නලු!

රටේ ආර්ථික තත්වය දැන් සමනය වී ඇති නිසා, තීරු බදු රහිත වාහන බලපත්‍රය නැවත දෙන ලෙස මන්ත්‍රීවරුන් 50ක පමණ පිරිසක් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග ඇසුරෙන් ඉරිදා ලංකාදීපයේ සුජිත් හේවාජුලිගේ වාර්තා කර ඇත.

මන්ත්‍රීවරුන් 30ක පමණ පිරිසක් වාහන බලපත්‍රය පිළිබඳ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන්ද පසුගිය දිනවල විමසීම් කර ඇත. මෙසේ වාහන ඉල්ලා ඇති වැඩි පිරිසක් නවක මන්ත්‍රීවරු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන නායකයන් සහ සමස්ත දේශපාලන බල ව්‍යූහයන්ට එරෙහිව 2022 දී ජනතාව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අතර, නව මැතිවරණයක් පවත්වමින් නව පාලනයක් බිහි කරගැනීමේ අවශ්‍යතාව ජනතාව අවධාරණය කරන ලදී. එය නොතකමින්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්ව, 2022 ජුලි 22 වැනිදා ගෝල්ෆේස්හි සිටි විරෝධතාකරුවන්ට හමුදාව සහ මිලිටරිමය කණ්ඩායම් යොදා පහර දුන්නේය. ඉන් පසු බලහත්කාරයෙන්, නව අණපනත් සැකසීම, කිසිදු විනිවිදභාවයක් නොමැතිව රහසේම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සැලසුම් සකස් කිරීමට පටන් ගත්තේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාමාන්‍ය ජනතාවගේ න්‍යායපත්‍රයක් නොමැතිව ඇති කරගත් එකඟතා මත සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය උඩු යටිකුරු කරමින් පොදුජනතාව මත විශාල පීඩනයක් පතිත කළේය. ඒවායේ ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ මත මහා පරිමාණයෙන් වක්‍ර බදු පැනවීමත්, විදුලි බිල දරාගත නොහැකි තරම් ඉහළ නැංවීමත් ආදී ප්‍රතිසංස්කරණ ඉටු කළේය.

ඒ අතරතුර ජනතාව මර්දනය කිරීම සඳහා පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැනි පනත් සම්මත කරගත් අතර, සැබෑ ජනතා අවශ්‍යතා යටපත් කරමින් දුර්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ද සම්මත කරගත්තේය. එයට පසු අධිකරණයට බලපෑම් කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලපෑම් කරමින් අත්තනෝමතික පාලනයක නිරත විය.

මේ සියල්ලට අත ඔසවන ජනතාවගේ අනුමැතිය නොලබන පාලක පිරිසක් සාගතය, බඩගින්න සහ ජනතා වේදනාව මැද සැප වාහන ඉල්ලමින් සිටී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading