ජාතික රූපවාහිනී සංස්ථාවේ කුලියාපිටිය ප්‍රාදේශීය වාර්තාකරු දිනෙත් කුමාර බිංගිරිය පොලීසියට අදාල පුවතක් වාර්තා කරමින් සිටියදී, ඔහුට පහර දී කැමරා සහ උපකරණවලට හානි වන ආකාරයෙන් කටයුතු කොට, බන්ධනාගාරගත කිරීමේ සිදුවීම හෙළා දකිමින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කර ඇත.
මේ පිළිබඳ නව වැඩබලන පොලිස්පතිවරයා වහා සොයාබැලිය යුතු බව එම නිවේදනයේ සඳහන්ය. නිවේදනය වැඩිදුරටත් මෙසේය.
2023 දෙසැම්බර් 01
මාධ්‍ය නිවේදනය.
මාධ්‍යවේදී දිනෙත් කුමාරට පහරදී අත්අඩංගුවට ගැනීම හෙළා දකිමු!
ජාතික රූපවාහිනී සංස්ථාවේ, කුලියාපිටිය ප්‍රාදේශීය වාර්තාකරු දිනෙත් කුමාර බිංගිරිය පොලීසියට අදාල පුවතක් වාර්තා කරමින් සිටියදී, ඔහුට පහර දී කැමරා සහ උපකරණවලට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම හා අනතුරුව මාධ්‍යවේදියා බන්ධනාගාරගත කිරීම මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැඩි ලෙස හෙළා දකී. නොවැම්බර් 30 වැනිදා උදෑසන 9.00ට පමණ බිංගිරිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි කණ්ඩායමක් පිළිබඳ වාර්‍තා කිරීම සඳහා දිනෙත් කුමාර මහතා එම ස්ථානයට ගොස් කිබේ. පැමිණිල්ල කිරීමට පැමිණි පුද්ගලයන්ගේ ප්‍රකාශයන් වීඩියෝගත කිරීමෙන් පසු පොලිස් නිළධාරීන් විසින් මෙම පහරදීම සහ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මාධ්‍යවේදියාගේ වාර්‍තාකරණයට අදාලව ඔහු විසින් බිංගිරිය පොලිස් ස්ථානයේ නාම පුවරුවේ දර්‍ශනයක් ලබා ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පැමිණ ඔහුගෙන් තර්‍ජනාත්මකව ප්‍රශ්න කර ඇත. එවිට ඔහු තමන් මාධ්‍යවේදියෙකු බව තම අනන්‍යතාව සඳහා මාධ්‍ය හැඳුනුම්පත පෙන්වා ඇත. ඒ පිළිබඳව සැළැකිල්ලක් නොදක්වා ‘හොර මාධ්‍යවේදියෙකු‘ යැයි පවසමින් ඔහුව ඔසවාගෙන පොලීසිය තුළට ගෙන ගොස්, බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සමග පහරදීමට සම්බන්ධ වු බවට වාර්‍තා වේ. මෙලෙස ඔහු පැහැරගෙන ගිය අවස්ථාවේදී ඔහුගේ කැමරා උපකරණ බිමට පතිත වී ඇති අතර, කැමරාව පොලිස් භාරයට ගෙන ඇත.
පෙර අවස්ථාවන්හිදී ද නිව්ස්ෆ්‍ස්ට්, බීබීසී ඇතුළු තවත් ආයතන ගණනාවක මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් පහරදීම්, අතඅඩංගුවට ගැනීම් ආදී සිදුවීම් දිගින් දිගටම වාර්‍තාවෙමින් තිබේ. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කිරීම් ගණනාවක් ද වාර්‍තාවී තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බාරගත් දිනයේදීම සිදු වූ මෙම සිදුවීම පිළිබඳ ඔහුගේ අවධානයට යොමුකරන අතර මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරන, මෙවැනි පහරදීම් සහ බිය ගැන්වීම් වහා පිටුදැකිය යුතු බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය තරයේ කියා සිටී. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයට (IFJ) අනුබද්ධ සාමාජික සංවිධානයක් වන අතර එය රටවල් 146 ක මාධ්‍ය සංවිධාන 167 ක සාමාජිකයින් හයලක්ෂයකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ලොව ශක්තිමත්ම මාධ්‍ය සංවිධානය වේ.
ස්තුතියි
ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම් – මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය‘
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බාරගත් දිනයේදීම සිදු වූ මෙම සිදුවීම, මාධ්‍යවේදීන්ගේ රාජකාරියට අවම ගරුත්වයක්වත් නොදක්වන පොලිස් සංස්කෘතියක පැහැදිළි සංකේතයකි.
මාධ්‍යවේදියෙකු ලෙස පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද ඔහුව හඳුනන නිසා, මෙම සිදුවීම ඔහුව ඉලක්ක කරමින් ඔහුව බියගන්වා ඔහුව නිහඬ කිරීම වෙනුවෙන් යම්කිසි පාර්ශ්වයක වුවමනාවට සිදු කළ ක්‍රියාවක් බව සිදුවීම ඇසින් දුටුවන් අනුමාන කර තිබේ.
යම්කිසි ආයතනයක් වෙත පැමිණිල්ලක්, විරෝධතාවක් හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් පිරිසක් යන්නේ නම්, එවැනි සිදුවීමක් වාර්තා කිරීමකදී, වීඩියෝ සහ ඡායාරූප මාධ්‍ය වේදීන්ට අදාල පාර්ශ්වයන්ගේ ප්‍රකාශයන් සහ එම පාර්ශ්වයන්ගේ රූප දර්ශන ලබා ගැනීමෙන් අනතුරුව අදාල ආයතනයේ නාම පුවරුව සහ ආයතනයේ රූ දර්ශනයක් ලබාගැනීම සාමාන්‍ය ජනමාධ්‍ය ක්‍රමවේදයයි. පුරුද්දක් ලෙස ඕනෑම වාර්තාකරුවෙකු එම කටයුත්ත සිදු කරන අතර, ඒ සඳහා පොලිස් ස්ථාන ඇතුළු ඕනෑම රජයේ ආයතනයක් ඉඩ ලබා දීම සම්ප්‍රදායයි. සාමාන්‍ය සම්ප්‍රදාය වන නිසාම එවැන්නකදී ලිඛිත හෝ වාචික අවසර ගැනීමක් සිදු නොවේ.

