විපුලි නිරෝෂණි හෙට්ටිආරච්චි සටන්කාමි ගැහැණියක බව අපි දනිමු.ඇය මේ සමාජය ශුද්ධ කිරීමේ සටන සහ ඊ ළඟ පරම්පරාවට වඩාත් යහපත් ලෝකයක් තනා දීමේ උවමනාවෙන් දැඩිව පිරී උන්නාය.ඊට වන බාධා ගැන ඇය බෙහෙවින් සැලුනාය.
විපුලි මට හමුවන්නේ රාවයේ සිටියදී ය.එහෙත් ඇය වඩාත් සමීප වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිදුවීමට මුහුණ දුන් දරුවන් වෙනුවෙන් සිඳු කරන අධ්‍යාපන වැඩ සටහනේදී ය.එයට ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා මගේ දුව සම්බන්ධ විය.ඇය එයට පුදුම කැමත්තක් දැක්වීය.ඇයට දුව කවෝදි නොවිණි.එය කිහිප වරක්ම නිවැරදි කළ ද විපුලි කීවේම කෞදි යනුවෙන්ය.
ළමයිනගේ අනාගතය හොරු අරගෙන සිටීම ගැන ඇයට තිබුණේ දුකකි.ඒ හොරුන් අතින් උන්ට ගැලවී එන්න පාර කියා දීම සිය අරමුණ වූවාය.ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම්වලට ඇය සම්බන්ධ වූවාය.තව අයත් හවුල් කර ගත්තාය.
මේ දිනවල අලෙවිවන මගේ ටෙටා යොවුන් නව කතාවේ සෝදුපත් බැලීමේ වැඩේ සිඳු කළේ විපුලිය. එය සිදු කර දෙමින් ඇය උපදෙස් ගණනාවක්ද දුන්නාය. වැඩේ වෙනස් හැඩයක් ගැනීම ගැන ඇය සතුටෙන් සිටියාය.පොත සම්බන්ධ උත්සවයට ඇය එන්නම සිටියත් සිදු නොවූ බවට මගේ සටහනකට ඇය කමෙන්ටුවත් ද දමා තිබුණාය.
වෙන හේතුවක් නැත.එසේ නො’එන්නට හේතුව හොරු බව මා පමණක් නොව ඇය සමීපව ඇසුරු කළ අපි බොහෝ දෙනා දැන උන්නෙමු.මෑථ කාලයේ ඇයගේ ජංගම දුරකතනය සොරකම් කර තිබිණ.ඒ මගේ සෝදුපත් බලමින් සිටිය කාලයය.එය නැවත ලැබුණ විට ඇය කළේ සිදුවීම පවසා පණිවිඩයක් තබා දැන් දුරකතන අංක වැඩ යැයි පැවසීමය.
එහෙත් ඒ හොරකම ගැන පිඩාව පහව යන්නටත් මත්තෙන් ඒ නිවසට හොරු පැන්න විට ඇය බෙහෙවින් කැළඹිණි.
ඒ අර්බූදය දිගින් දිගටම තිබිණ.ඒ අවස්ථාවේ නීතිය රකින පොලිසියේ හැසිරීම ගැන ඇය තුළ තිබුණේ දැඩි කළකිරීමකි.ප්‍රදේශයේ නම් කර තිබෙන සිවිල් ආරක්ෂක කමිටු ද තිබියදී එක දිගට මිනිසුන්ගේ ජිවිත අවදානමක අනතුරක වැටෙන්නේ ඇයිද යන්න පිළිබඳව ඇයට ප්‍රශ්නයක් තිබිණ.
දිගින් දිගටම වගකීම් පවරාගත් හෝ පැවරුණු මිනිස්සු සමාජය සමඟ ගනුදෙනු කරන වගකීම් විරහිත ස්වභාවය නිසා සමස්ත සමාජයම අනතුරක වෙලී ඇති බව ඇය දැක්කාය.හතරවට තාප්ප බැඳගෙන,විවධ දේශපාලන සහ සිවිල් සමාජ සම්බන්ධතා මත තමන් ආරක්ෂාකාරී බව සිතා සිටින මිනිස්සු මේ අනාරක්ෂිත පාරේම තමන්ට වඩා දුරක වෙසෙනු විනා ආරක්ෂිත නොමැති බව විපුලි දැක්කාය.
අනෙකාගේ අනාරක්ෂිතබව නිසා විපතට ලක්වීම පොලිසිය වැනි ආයතන නියෝජනය කරන එකෙක්ටවත් සිය නිල ඇඳුමේ ඇති වැට නිසා නොදැණුනාට,ඔක්කොම ඉන්නේ හොරු එන පාරේම මංකොල්ල අවදානමට මුහුණ දී බව ඇය දැන උන්නාය.තිබුණේ සමීප බවේ සහ දුරස්ත බවේ වෙනසක්ය.සමිප ගෙවල් ටික බිදුණ පසු අනිත් ගෙවල්වලට ද ඒ ඉරණමම අත්වෙන බවත්,ඒ බඳ දැමීම් සමීප තැන් බිද දැමෙන තැන්වලට වඩා විශාල වශයෙන් සාහසික විය හැකි බවත් විපුලි දැන උන්නාය.
ඒ නිසා විපුලි හිටියේ තමන් ඇතුළු සමස්ත සමාජයම චෞරයන්ගේ,පාදඩයන්ගේ සංස්කෘතිය විසින් ගිල ගනු ලබන ඛේදවාචකයේ දිග පළල ගැන අවබෝධයෙන් සහ කම්පාවෙන්ය.ඒ නිසාම ඇයගේ රෝගී තත්ත්වයන්ද දිනෙන් දින අයහපත් විණි. අම්මා සහ ඇය වෙසෙන නිවසේ දින ගණන් දෙදෙනාම හොරු එතැයි බියෙන් මුහුණට මුහුණ බලාගෙන නිදිවර්ජිතව ගෙවෙන බව ඇය වරෙක කීවාය.
එහෙත් කිසිවකුට කරදරයක් කරන්නට අකමැති බැවින් ඇය ඒවා කතා කළේ නැත.පොත් සල්පිළට ඇවිත් ග්‍රැෆිකෙයාර් වෙත යාමට මඟ ඇසූ විට මං ඇයට උදව්වට ඉදිරිපත් වූ අවස්ථාවේ දැන් කොහොමද අසනීප තත්ත්වය යැයි විපුලිගෙන් විමසීය.ඇය එව නෑසුණ ගාණට පැවසුවේ ඔයා ඉන්න,මට යන හැටි කියන්න කියාය.අනතුරුව මං ඒ ගැන කතා නොකරම ග්‍රැෆිකෙයාර් වෙත ඇයව ඇරලවා ආවාය.ඒ විපුලිගේ හැටිය.
අයිස්,මත් දුව්‍ය ආදිය භාවිතා කරන්නන් මේ සොරකම් කරන බව විපුලිට කියන්නේ පොලීසියය.භාවිතා කරන්නන් කරන බව කීවත්,භාවිතා කරන්නේ කවුද යන්න ඔවුන් නොදනියි.එවැනි දේ සමාජයේ තිබෙන බව ඔවුන් දැන සිටියද,තිබෙන තැන් හෝ ගෙනෙන සහ විකුණන අය නොදනියි.මේ මහා බොරුව ඇතුළේ තමාට පමණක් නොව සමාජයටම ඇති අවදානම ගැන ඇය ලිවිවාය.කිව්වාය.එහෙත් සමාජ මාධ්‍යය වාරණය කරන්නට කතා කරන එකෙකුට ඒවා නොදැණුනාය.
ඒ නොදැනෙන උන් සිටින්නේ තමන් මාර විදිහට බලයෙන්,ධනයෙන් සහ නිලයෙන් ආරක්ෂක ස්ථානයක සිටින බව සිතාය.මේ මොහොතේ විපුලිගේ පොලිසීයේ ශාඛා ජාලයට අයත් අතුරුගිරිය පොලිසිය ද අප සතු ඉඩමක් මංකොල්ල කන්නට අවශ්‍යය පසුබිම චෞර කණ්ඩායමක් වෙත සකසමින් සිටින්නේ ඒවාට අප වැය කර තිබෙන මුදල් තජු ඇට කොස් ඇට ගණනටවත් නොතකමින්ය.ඒ නිසාම පොලිසිවල මේ හැසිරිම් ගැන මට හොඳට දැනෙන්නේය.
ඒවාට සංවේදී වන මිනිස්සුත් පොලිිසිවල නැත. මං හිතන්නේ නිල ඇදුම විසින්ම යම් කිසි ආකරයකට නිල ඇඳුම විසින් කරනු ලබන ජඩකම්, නොතකා හැරිම් වසන්නට උත්සාහ කළ යුතුය යන්න ලේවලටම කළවම් කර එම නිල ඇඳුම අන්දවා තිබෙන නිසා විය යුතුය.නමුත් යම් තැන් හී දී ඔවුන් ද අසරණ වූ විට විපුලිලා වැනි අයට හිතවත්කමක් මිතුරුකමක් ඇත්නම් සහෘදයෙකුගේ ගැටළුවකට මැදිහත් විය යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්නට ලැබෙනු ඇත.කාලයද,ධනයද,ශ්‍රමයද යන සියල්ල වැය කර ඒ වෙනුවෙන් වෙහෙසෙන විපුලිලා වැනි විසල් හදවත් නිහඬවීම දැඬිව වේදනා උපද්දවන්නේ එබැව්න්ය.
මේ මරණය යම් ආකාරයක මිනිමැරුමක්ය.ඇය රැඟෙන ගියේ හොරුය.ඒ හොරු ගැන නොසළකා හැරිය කාකි නිල ඇඳුම් ය.සංවේදී මිනිසුන්ට දැනෙන තරමේ පළල සහ මනුස්ස ජීවිතවල වටිනාකම ඔවුන්ට නොදැනීම ඊට හේතුවය.
මේ නිවස ඉදිරිපස එල්ලෙන සුදු කොඩිය දකින ප්‍රදේශයේ පොලිසියේ ඉහළ සිට පහළ දක්වා සිටින හැම කෙනාම ඒ වැනෙන්නේ තමන්ගේ සිත් තුළ නීතිය ඉටුකිරිම සම්බන්ධයෙන් වන චංචලභාවය බව දැන ගන්නේනම් වැදග්තය.මේ පාරේ සමීප ගෙයක එල්ලෙන සුදු කොඩිය තවත් දුර ගොස් තමන්ගේ නිවසේද එල්ලෙන දවසක් වෙනුවෙන් තමන් වගකීම් පැහැර හැරීමෙන් සේවය කරන බව ඔවුන්ගේ හෘද සාක්සිය තේරුම් ගත යුකුය.වගකීම් අත හැරීමෙන් නිවාස බිඳ,මිනිස්සු මරා අවසන් වන්නේ නැත.ඒ සඳහා අවසානයේ බිදින්නට ඔබේ නිවසත්,මරන්නට ඔබේ ජීවිතයත් ඉතුරුවන බව සියලු නිල,ධන,බල ඇත්තෝ සිතත්නම් විපුලිලාගේ ජිවිත හොරු රැගෙන යාම නවතිනු ඇත.
විපුලිගේ මරණයට හේතුව හෘදයාබාධයක් යැයි මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් වනු ඇත.නමුත් එය මිනී මැරුමක් බවත්,හොරු ගැන නොතකා සිටින නීතියේ ලිහිල් ස්වභාවය විසින් ඇති කරපු පීඩනයේ තරම විසින් ඇති කරන ලද හෘදයාබාධයක් බවත් ඇයට සමීපව සිටි සියල්ලෝම දන්නවා මෙන්ම ඒ වගකීම පැහැර හැරිය පොලීසියද දැනගත යුතුය.සියලු පොලිස් හිතවතුන් තමන්ගේ සහෘදයන් තමන් අදින නිල ඇදුම ලැජ්ජාවට පත් කරන මෙවැනි නොසළකා හැරිම් ගැන අවධානයෙන් සිටිය යුතුය.නැතිනම් සාමාන්‍ය ඇදුමෙන්වත් පැමිණ ඔබේ පෞද්ගලික ගැටළුවකට උපකාර ඉල්ලීමට කියද්දි ඇහුං කං දීමට කිසිවෙකුත් නොසිටිනු ඇත.ප්‍රශ්න නැති නොවන්නට මිනිස් ස්වභාවයන් නිල ඇඳුමෙන් වසා දැමිය නොහැකි බව ඔබට වැටහෙන්නට, ඔබත් විපුලිගේ ඉරණම අත්වන තෙක්ම නිහඬව සිටින්නේද යන්න සිතිය යුතුය ඇත.
එම සිඳුවිම සම්බන්ධයෙන් විපුලී තැබූ සටහන.
සුජීවත්ව ලියූ කවි ලියූ කාලය අවසන්ය.දැන් ඉතින් මතු දවසක කවි ලියැවේනම් ඒ ද මර බියෙන් බාගෙට හුස්ම ඇද ඇදය. නිදහසේ ජීවත් නොවී භාගෙට ජීවත් වීමට වඩා දැන්නම් මිය යාම යහපත් ය.අම්මාගේ ජීවිතයේ අග භාගය ගෙවිය යුතු දිවා රෑ නිදි වර්ජිතව ය.
එදා උදේ පාන්දර අපේ ජීවිත බේරුණේ අනූනවයෙනි..ජීවිතය පුරා කිසිවෙකුට හිංසාවක්,මගඩියක් හෝ ගින්නක් නොදුන් දෙමව්පියන්ගේ අභිමානය හිසින් ගත් දියණියකව හැදී වැඩී මේ රටේ පුරවැසියෙකුට හිමි ජීවත් වීමේ අයිතිය පවා අහිමිව ගිය අසරණියක වීම තරම් අභාග්‍යයක් තවත් නැත. හදවතේ බර වේදනාව පසෙක ලා මුළු ගමටම ඇසෙන්නට කෑ ගැසීමට සිදු වීම ම මොන තරම් අවුලක්ද ? දේශපාළුවන්ගෙන්,හොරුන්ගෙන් ,කුඩු කාරයින්ගෙන් මිල මුදල් උපයා ගත් ඊනියා ව්‍යාපාරිකයන් බන්ධනාගාර උසට මහා ප්‍රාකාර සාදාගෙන මුරකාවල්,තර කරගෙන සුව නින්දේය.අනිකාට,,අසල් වැසියාට කුමක් වීදැයි ඔවුහූ නොදනිති.තැනින් තැන සිටින ගම්මු පවා දැන් වැටෙන්,තාප්පයෙන්,මායිමෙන් ඈත් වී ගොස්ය.ඥාතීන් පවා ගමෙන් කැඩී බිඳී විසිරී ගොස්ය..තාවකාලික කුලී නිවැසියන් අක් මුල් නැතිව පාත් වූ අසල් වැසියෝ අනිකා ගේ ඇතුළෙ මළත් හිස,පොවා නොබලන තත්වයෙන් මනුෂ්‍යත්වයෙන් ගිලිහුණු නරුමයෝය..
පොලිස් සහතිකයක් ගැනීමට වරක් ග්‍රාම නිලධාරිණියගෙන් සහතිකයක් ගෙන හූවක් දුර පොලිසියට ගිය විට පාරම්පරික ගම් වාසී මගේ චරිතය සහතික කරවාගෙන ඒමට මා ග්‍රාම නිලධාරිණියට අමතරව මගේ ග්‍රාම සේවා වසමට අයිති සිවිල් ආරක්ෂක කමිටු සභාපති වෙත ද යා යුතුය ..එවන් තනතුරුලාභීන් හතර අතේ විසිර ඇති බව මා දැන ගත්තේ එදාය..එහෙන් අපට ඇති ආරක්ෂාවක් නැත..අපේ ජීවිත අවදානම දරා ගත යුතු අපමය.
ගැහැනු අප පමණක් ජීවත් වීම හුදෙක් මෙවැනි අනතුරකට හේතු බව කියන මහ දැනමුත්තන් නොදන්නා එකම කාරණයනම් මේ කෙටි කාලයට සොරු කොල්ල කා ඇත්තේ,සොරු පැන ඇත්තේ හුදෙක් ගැහැනු ඉතිරි වූ ගෙවල්වලට පමණක් නොවන බවය. වතු මැද හුදකලා වූ පැරණි ගෙවල්වලට පමණක් ම නොවන බවය..නවීන ආරක්ෂක උපාංග සහිත දෙමහල්,තනි මහල් න්‍යාෂ්ටික,විස්තෘත , ගැහැනු ,පිරිමි , බාල ,තරුණ මහලු ,වැඩිහිටි භේදයක් නැතිව නිවාස කිපයකට ම එක යායට සොරු පනිමින් සිටිති.අවාසනාවනම් ඇස් අඳ පවුලක් වෙසෙන නිවසේ ද දුරකථනය ආදී වටිනා කියන දේ සොරුන් ගෙන ගොස්ය.ඒ ගෙදර ගෘහ මූලිකයාගේ පාවහන් දෙක පවා දා ගත් සොරු ගමේ ඇවිදිතැයි සිතෙන්නේ ඇස් පේන කුඩා දියණිය පාරේදී සිය පියාගේ පාවහන් පැළඳ යන එකෙකු දැක ඒ බැව් කියා ඇති නිසාය..තරාතිරමක් ,වයස් භේදයක් ,ලිංග භේදයක් නැතිව රෑ පාන්දර ගෙවල්වලට සොරු පනිද්දී දැන් ජීවිත අවදානම තකා වහා අප ඇමතිය යුත්තේ පොලීසියට නොව සුව සැරිය ගිලන් රථ සේවාවට ය.මන්ද, 119 එහි ළඟා වීමට පෙර සුව සැරියෙන් රෝහලට යාම නිසා අඩුම තරමින් මට මගේ ජීවිතය බේරා ගත හැකිය.අම්මා වෙනුවෙන් මා ජීවත් විය යුතුය .ඇත්තටම කළ යුතුව තිබුණේ එයය.
11 9 රාජකාරිය හෝ අර ග්‍රාම සේවා වසමෙන් වසමට අරක් ගත් ආරක්ෂක කමිටුවල රාජකාරිය කුමක්දැයි අපි නොදනිමු ..අවුරුදු ගණනාවක් උපතේ පටන් ජීවත් වූ නිවස හැර දා සරණාගතයන් සේ අම්මා සමග එහෙ මෙහේ ගොස් ජීවත් වීමට සිදු වේනම්,ඒ ,ඉමහත් අවාසනාවන්ත අප්‍රසන්න අත්දැකීමකි..දශක ගණනාවක් නිදහසේ ,නිරෝගී ව ජීවත් වූ අපේ අම්මා වැනි සොඳුරු සැහැල්ලු පැවතුම් ඇති වයෝවෘද්ධ අහිංසක ගැහැනියක මෙවැනි කුඩුකාර පාපතරයින් අතින් මැරුම් කෑ යුතුයැයි ඔබ සිතන්නෙහිද ? අනිකාට බරක් නොවී ජීවිතයේ සියලු අභියෝග අතර ,තනියම ජීවිතයට මුහුණ දුන් මේ මා වැනි ගැහැනියක මෙබඳු කාලකණ්නින්,හෝ වනචරයින් අතින් මැරුම් කෑ යුතුද ?ඒ නිසා උත්සන්න වූ රෝගී තත්වයකින් මිය යාම කෙතෙක් දුරට සාධාරණ ද ? අපි අපේ දරුවන් වෙනුවෙන් අනාගතයක් හදන්නට සිහින මවමු.යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දකිමු;වෙහෙසෙමු.ඒ අතර දේශපාළුවෝ අපේ ජීවිත ඇපයට තබා රට පුරා ගමින් ගමට කුඩු කාරයින් ,අයිස්කාරයින් බෝ කරමින් නීතිය ,නිල තනතුරු ආදී අනේකාකාර රාජකාරින්ද විගඩමක්,විහිළුවක් කර ගනිමින් රටම කොල්ල කෑමට ඉඩ දී බලා සිටිති;නිදි වැද සිටිති..
මේ සිදුවීමට කලින් දා පටන් මගේ ආදරණීය අම්මාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම්,ආශීර්වාද ,ආශිංසන එක් කළ සැමට නිදුක් නිරෝගී සුව දිගාසිරි සෙත් පතමි.ඔබ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා ! සොරු මංකොල්ලකාර පාපතරයින් ,කාලකණ්නින් අතින් නිරපරාදේ මියැදෙන්නට හෝ නොමැරී මැරෙමින් ජීවත් වීමට මෙලොව කිසිවෙකුට සිදු නොවේවා !
ගමින් ගමට නිදහසේ සරන සොරුන්, කුඩු කාරයින් අල්ලා ගත නොහැකි මහ පොලිසිය බුදු දහම රැකීමට නතාෂාලා අත් අඩංගුවට ගනිති; මේ රටේ මේ කාලකණ්නි පාදඩ දේශපාලනයට එරෙහිව හඬ නගන තරිඳු උඩුවරගෙදර වැනි තරුණයින්,මාධ්‍යවේදීන් ,සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැඳ ඔවුන් අල්ලා සිර කරති.
මර්දනය කළ යුතු උන් ,සමාජ අපයෝජකයින් නිදහසේ හැසිරෙද්දී නීතිය ඒ මග නොයා අයාළේ යන්නේ එසේය.
නිශ්මං රණසිංහ

විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි
අප මුලින් හමුවන්නෙ කොළඹ සරසවියෙදි.
මගේ කණ්ඩායමෙන් පසුව ආ කණ්ඩායමේ සාමාජිකාවක් හැටියට…ඇය සරසවියෙහි දී විෂය පරිබාහිරව සාහිත්‍ය වැඩවලට කැපී පෙනෙන නායකත්වයක් දෙමින් අවස්ථා කිහිපයකදි සම්මානයටත් පාත්‍ර වුණා.ඇය මට වැඩිපුර හමුවුණේ සාහිත්‍ය නිසාමයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙ ග්‍රන්ථ සමීක්ෂණ වගකීමක් සඳහා වරක් මා ඇගේ නම නිර්දේශ කළා.ඇය ඒ වගකීම මනාව ඉටුකළා.
කිවිඳියක ලෙස ඇය පළකළ ප්‍රතිභාව හරි ඉහළයි.මේ ගැන සැලකිය යුතු මට්ටමේ විචාරයක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් ලියා පළකර තිබෙනවා.
අපේ රටේ ප්‍රමුඛ කිවිඳියන් කිහිප දෙනා අතර ඇයට නිශ්චිත ස්ථානයක් තිබෙනවා.
ඇය ලිවීමට සීමා නොවී අවශ්‍යම සමාජ වගකීම්වලටත් උර දුන්නා.ඒ අතින් ඇගේ කැපවීම අමතක කරන්න බැහැ.අප හමුවී ඇති සාහිත්‍ය මණ්ඩප ගණනින් විශාලයි.ඒ හැම තැනකම මතක සටහන් අප අතර තිබෙනවා.ඇගේ වියෝව ගැන කම්පාව තුනීකර ගැනීමට දැං ඉතින් ඇගේ කවි අප අතර ජීවත්වනවා…..මෙහි ඇති ඡායාරූපයෙහි වමේ සිට තෙවැන්නිය විපුලි…..කෞශල්‍යා ජයලත්ගේ කවිපොත ජනගත වූදා……එදා කවිකිවිඳියො පොකුරක් සමග ඇය සතුටින් හිටියෙ…ඇය මට කලින් යයි කියලා මම හිතුවෙ නෑ…ජීවිතේ ඔහොම තමයි…සැන්දැගට පෙර ඇය ගිහින්..
– තිඹිරියාගම බණ්ඩාර

අනේ විපුලි අක්කේ….
නික්මනට නිමිත්තක්…ඒ ඇගේ පළමු කවි පොතේ නම. එයාලා යනවා? ඉතින් ඇයි අපි ඉතිරි වෙන්නෙ? විපුලි අක්කා ටිකක් සැර කෙනෙක් . මාත් සැර වෙලා තියෙනවා ඇතැම් තැන්වල . අපි ජනනියමු කලාකරුවන් ලෙස ඉතා ළඟින් වැඩ කළා. මෙහෙම ඔබ යනවා නම් …මං දැන් කොහොම ද සොරි කියන්නෙ .හිත් නම් රිදවන්න එපා කිසිවෙකුගේ. මොකද ..නික්මනට නිමිත්තක් ඕනෙ ම නැ දැන් බලන කොට.
ඔය හිස නැමුණේ කවිය ඉදිරියේ විතරක් ම වෙන්න ඇති .
බැඳන් නාවත් සටනට
තබමි කවියේ විරිතට
උචිත උපමා රූපක
ගුරුන් දෙගුරුන් පා මුල
මිසක් නොනැමෙන මේ හිස
නමමි මහ කවියෙකු ළඟ
ඒය මට හිමි කවිකම
විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි
– ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
අද උදෑසන ඇස ගැටුණු විපුලී නිරෝෂනී හෙට්ටිආරච්චි සහෝදරියේ නික්මයාම, පළමුව විශ්මයක් ද, දෙවනුව දැඩි සොවක් ද ඇතිකළ කරුණක්.
මම ඇය ඉතා ලඟින් ඇසුරු නොකළ කෙනෙක්. ඒකට හේතුවක් තිබුණා. මම ඇය දුටුවේම දුරින් සිට නිරීක්ෂණාභ්‍යාසයෙන් හැදෑරිය යුතු කිවිඳියක බවයි.
ඇය අරගලකාරී, තම මතයේම පිහිටා කටයුතු කළ, කවිය පිළිබඳ ඇකඩමියානු හැදෑරීමක් සහිත කිවිඳියක්. ඇගේ අකල් නික්මයාම විසල් හිස්කමක් ක්ෂේත්‍රය තුල නිර්මාණය කරණු ඇතැයි සිතෙනවා.
විපුලී, ඔබට සුබ ගමන්..
– කපිල එම් ගමගේ
විපුලි නිරෝෂණි හෙට්ටිආරච්චි !
මතක, මතක , මතක .. ඔළුවෙ හැපෙනව. අර reserved හිනාව , අතන මෙතන හම්බ වෙද්දි අපේ කෙටි කතා බහ, සිංහල කවිය ඔසවපු ඇගේ කවි, කවියට මිස මොන දේකටවත් ඔළුව නවපු නැති, අති ස්වාධීන ආත්මයක් සහිත නිර්භීත ගැහැනිය. විපුලි…
අපි දෙන්න එකට පෙනී හිටිය පින්තූර සිය ගාණක් ඇති. මට ඒව හොයන්න බෑ විපුලි. වැඩක් නෑ. ඔයා ගිහින්. මහන්සියි විපුලි. අපිත් ඉක්මනින් යයි. යන්න මාත් එන්නම් කියන්නෑ. ගියාමත් අපි හම්බ වෙන්නෑ. මේ විශ්වයෙ හම්බ වෙන්න තිබිච්ච එකම තැනදි එකම මොහොතෙදි අපි හම්බ වුණා. මං ඔයාගෙ ‘දිළිසෙන පියවර’ ත් මොනාලිසා හිනාවත් දැක්කා. ඒත් අමාරුයි. දේදුන්නක් , අකල් වැස්සක් වගේ මේ ජීවිතේ.. දන්නව. දන්නව වුනත් අමාරුයි.
සුව නින්දක් විපුලි !
– මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
විපුලි අක්කාගෙ මරණය ඝාතනයක්..!
අවනීතිය විසින්, අරාජික කළ රටක ඔයාගෙ මරණය ඝාතනයක් කියලාමයි හිත කියන්නෙ.
ඊයෙ උදේ ඉඳලා මං තාම ඉන්නෙ කම්පනයෙන් විපුලි අක්කෙ,
මම නිෂ්පාදනය කළ ළමා අධ්‍යාපන වැඩසටහනට, දරුවන්ගේ පෙළපොතේ තිබුණු විපුලි අක්කා ලියපු කවි පෙළත් එක්කයි ඒ හඳුනා ගැනීමට මුල පිරුවෙ.
ඒත් “මගේ ආදරණීය නංගි, “
ලෙස මට කතා කරන්න තරම් විශ්වාසයක් ආදරයක් මං ඉක්මනින් දිනා ගත්තා.
ඒ දරුවන් ගැන සුබ සිහින දකිමින් දරුවන් වෙනුවෙන් ම කැප කරන්න ට තරම් වූ සුවිසල් හදවතක් හිමි ඇයට, මගේ අදහස් සමපාත වීම මිස වෙන කිසිදු හේතුවක් නෙවෙයි.
ඉන්පස්සෙ ආර්ට් වැඩ ගැන, රට තොට දේශපාලනික තොරතුරු ගැන … අනේ අපි මොන තරම් දේ කතා කළාද. ඒ හැම කතාවක්ම කෙළවර වුණේ අපේ දරුවන්ගෙන් .
අපේ දරුවො කියන්න අපි දෙන්නටම හිටියෙ රටේ ලෝකෙ දරුවො විතරයි.
කොවිඩ් කාලේ හෑලි නෝට් දරුවන්ට දෙනවා වෙනුවට ඕඩියෝ , වීඩියෝ පාඩම් හදන්න විපුලි අක්කාට ඕනි වුණා.
එයා ඒකට රේඩියෝ එකක වැඩ කළ මගෙන් උදව් ඉල්ලුවා.
“Program producer සහ audio producer කියන්නෙ දෙකක්නෙ අක්කෙ මං ඕඩියෝ ප්‍රොඩියුසර් කෙනෙක් නෙවෙයි,”
කියලා පැත්‍තකට වෙන්න බැරි තරමටම ඒ ගුරුවර උනන්දුව ප්‍රබල වුණාම, ඒ වැඩේ නොකර මග අරින්න බැරි වුණා.
මං ඒ වැඩේ කළා.
කවදාවත් ඉන් පෙර නොකළ එඩිටින් කළා. ඔයා දන්නෙ නෑ අක්කෙ. ඔයාට කවදාහරි නිවීසැනසිල්ලෙ ඒවා කියලා හිනාවෙන්න හිටියෙ .
ඒත් ඊට පස්සෙ, උද්ඝෝෂණ ,අරගල, පිරුණු මංමාවත් වල මිස නිවීසැනසිල්ලක අපි හමුවුණේ නෑ.
ඒ අතරෙ රටක් විදියට අපි කවුරුත් හොර හතුරු බියෙන් තැතිගෙන, අනාරක්ෂිතව ඉද්දි ඒ නපුර පෞද්ගලික නිවාස වපසරියටත් රිංගා ගත්තාට පස්සෙ ඔයා හිටියෙ සෞඛ්‍ය සම්පන්න නින්දක් වත් නැතුව. නීතිය සුරකින්නන්ගෙ අකාර්යක්ෂම කම ගැන කළකිරීම ,අවිනිශ්චිත කම, ඔබේ හදිසි වියෝවට වගකිවයුතු නෑ කියන්නෙ කොහොමද , හරි දුකයි අක්කේ, පාලුයි.
– මේනකා සුගතදාස
මගේ ජීවිතයේ මට ලැබුණු පළමුවැනි නිර්දය විවේචනය ලැබුණේ විපුලි අක්කාගෙනි. ඒ මීට අවුරුදු විසි එකකට පමණ පෙර, විභවියේ වටමේසයකදී ය. එදා ඒ වටමේසයේ සජීවනී කස්තුරිආරච්චි, අනිල් නිශාන්ත ලොකුගමරාළ සහ ඉසුරු චාමර සෝමවීර ඇතුළු තව කවි කිවිඳියෝ කිහිප දෙනෙක්ම සිටියහ. මුලසුන සිටියෝ කම්මැල්ලවීරයෝ ය. සමහර විට ලාල් හෑගොඩ කවියාණන්ද එහි සිටින්නට ඇත.
පාසල නමැති අවන් එකේ අන්තිම පොඩ්ඩ බේක් වෙමින් සිටි කේක් එකක් වූ මට නොසෑහෙන ලෙස රිද්දූ ඒ විවේචනය, මා රත්න ශ්‍රී කොප්පෙකුගේ සිට ස්වාධීන ශෛලියක් හිමි කවියෙකු බවට පත්කරන්නට කළ සේවය සුළුපටු නොවේ.
ඉන්පසුව ඒ ආසන්නයේ වෙනත් දවසක, රාජ්‍ය කලා උළෙල හෝ එවැනි නමක් සහිතව විහාරමහාදේවි උද්‍යානය හෝ එවැනි තැනක පැවති උත්සවයකදී විපුලි අක්කා මට ආදරණීය යෙහෙළියක් බවට පත්වූවා ය. කවිය හා ගීතය ගැන දහසක් දේ කතා කරන අතර, ගෙදර යන්නට විස්සේ කොළ දෙකක් පමණක් පොකැට්ටුවේ තිබුණු මට ඈ ඒ බව නොදැන යෝගට් එකක් අරගෙන දුන්නා ය.
විපුලි අක්කා තුළ මා දුටු ලොකුම ගැටලුව නම්, සාහිත්‍ය ක්ෂේත්‍රයට පමණට වඩා කැපවීම ය. මෙය මා මගේ ළඟම මිතුරන්ට කියා ඇත. ඇය තුළ තිබූ අසීමිත හැකියාවට සාධාරණයක් ඉෂ්ට වීමට පෙර ඇය සමුගෙන යාවි යයි සාධාරණ බියක් මා තුළ පැවතිණි.
මේවා දැන් ලියා පලක් නැත. ඒත් ලියැවෙන්නේ රිදුණු විට ය.
මට ඇඬෙන්නට ඉඩ ඇති බැවින් මළ ගෙදර නොයා ඉමි.
පැතූ සුගතියක් සුවයක් මිදීමක් වේ නම් එය ඇයට අත්වේවා!
– තරිඳු ශ්‍රී ලොකුගමගේ