Saturday, December 2

දයාසිරිට සජබෙන් සංවිධායක ධුරයක්! ශ්‍රීලනිපෙනුත් අලුත් තනතුරක් දෙනවාලු! ඒ අස්සේ එයා රට ගිහින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග කියනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක ධුරය දයාසිරි ජයසේකර වෙත ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්, එම ආසන සංවිධායකවරයාව සිටි තුෂාර ඉඳුනිල් අමරසේන වාරියපොළ සංවිධායක ලෙස මාරු කර ඇති බවත් තහවුරු වෙනවා.

පසුගිය සතියේ තුෂාර ඉඳුනිල් වාරියපොළ ආසන සංවිධායක ලෙස වැඩ බාර ගත්තා.

එහෙත් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග ඇසුරෙන් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණා.

ඔහු නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම්,පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර ඇතැයි ලංකාදීප කියනවා.

මේ අතර , දයාසිරි ජයසේකර මහතා පවුලේ අය සමඟ මේ වන විට විදේශගත වී සිටිනවා.

දයාසිරි ජයසේකර පිළිබඳ දිවයින දේශපාලන තිරය පසුපස කොලමේ තිබුණේ මෙහෙමයි.

//ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ද පසුගිය සතියේ අලුත් ආරංචියක් පැමිණියේය. පසුගිය දිනවල මහලේකම්කමින් ඉවත් කෙරුණු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙනුවෙන් ලබා දෙන්නට නියමිත අලුත් වගකීමක් සම්බන්ධවයි.

දයාසිරි තවමත් විදේශගතව ය. වෙනදා නම් විදේශගත වූ විට මේ තරම් කාලයක් ගත කරන්නේ නැත. එහෙත් මෙවර ඔහු විදේශගත වී සති ගණනක් ඉක්ම ගොස්ය. තවමත් පැමිණෙන දවසක් ආරංචි මාත්‍රයක නැති ගාණය.

එහෙත් ඔහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් පටන් ගෙන තිබූ සාකච්ඡාවල නම් කෙළවරක් නැත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය දිනවල පැවති සාකච්ඡා වට ගණනාවකදීම දයාසිරි වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද කියා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සාකච්ඡා කරමින් සිටියහ.

දයාසිරි පක්ෂය කඩාගෙන සමගි ජන බලවේගයට යන්නට යනවා යැයි කියා චෝදනා නැඟූ පිරිසක් ද වෙති. ඒ අයගේ මතය වූයේ දයාසිරිට දඬුවම් කළයුතු බවයි. පහුගිය දිනවල ඒ සඳහා චෝදනා පත්‍රයක් ද ඔහු වෙනුවෙන් සැකසුණු බව අපට මතකය.

ඒත් මේ සතිය වන විට තත්ත්වය තරමක් වෙනස් අතට හැරී තිබිණි. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ගේ දැක්ම වූයේ දයාසිරි හදා ගත යුතු බවකි. ඔහුට මහලේකම්කමෙන් මෙපිට යම්කිසි වගකීමක් පවරා වැඩ කොටසක් ලබා දිය යුතු බව ඔහුගේ මතය විය.

ඒ අනුව දිගින් දිගටම සාකච්ඡා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෝ දයාසිරි වෙනුවෙන් උප සභාපති ධුරයක් ලබා දෙන්නට එකඟත්වය පළ කර සිටියහ.

එහෙත් ඒ වන විට ඊට බාධාකාරී වූ තවත් කරුණක් තිබුණි. පසුගිය දිනවල දයාසිරිගෙන් හිස්සුනු කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය පුරවන්නට පක්ෂයට අවශ්‍ය විය. පක්ෂයේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කරමින් ගොඩනැඟීමට දක්ෂ සංවිධායකයෙක් ඒ පැත්තට පිටින් යැවිය යුතු බව සාකච්ඡා වූහ. එහිදී යෝජනා වූයේ ලසන්ත අලගියවන්න කුරුණෑගලට යවා සංවිධායකයන් ඒකරාශි කර ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹීමටයි. එහෙත් ඔහු එහි යනවිට දයාසිරි ජයසේකර ඔහුට විරුද්ධත්වය පළ කරමින් එක්තරා වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි. වීඩියෝ පටයෙන් කියා තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා පක්ෂය විසින් පිටස්තරව එවන ලද කිසිදු පුද්ගලයකුට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධායකයන් සහාය නොදක්වන ලෙස ලෙස කරන ලද ඉල්ලීමකි.

මෙම වීඩියෝ පටය දුටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ප්‍රබලයෝ දයාසිරිට යම්කිසි තනතුරක් පිරිනමන්නට පක්ෂය ගෙන ඇති යෝජනාව නැවත සලකා බලන්නැයි ඉල්ලා සිටියහ. එහෙයින් දයාසිරිගේ උප සභාපතිකම තවමත් අනතුරේය.

මේ අතර තවත් පිරිසක් කීවේ දයාසිරිව නළවන්නට මේ පාර මෛත්‍රී කැරට් අලයක් දික් කරන්නට පටන්ගෙන ඇති බවයි.//

Author

%d bloggers like this: