Saturday, December 2

සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!

මනූෂ නානායක්කා සමාජ මාධ්‍ය පනත ගැන දැවැන්ත අසත්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා. පනතේ ඇති කරුණු හංගමින්, ඔහු මිනිසුන් රැවටීමේ තක්කඩි අරමුණෙන් යුතුව කතා කර තිබෙන අතර, පනතේ ඇති බරපතල අවුලකුත් ඔහුම පෙන්වා දී තිබෙනවා.

‘සමාජ මාධ්‍යයට වාරණ දාන්නෙත් නෑ. සමාජ මාධ්‍යයට නියාමන දාන්නෙත් නෑ. මේ පනත හරහා සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කරන දේවල්වලට වගකීම ගන්න කියන එක විතරයි. හැමවෙලාවෙම මේ සමාජ මාධ්‍යයට එනවා නම් අනන්‍යතාව අවශ්‍ය වෙනවා.  යම් ප්‍රකාශයක් වෙනවා නම් ඒ ප්‍රකාශයට තමන් වගකියන්න ඕනෑ එච්චරයි. එහෙම නැතිව මේකේ කිසිම ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නවත්, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කියන්න තියෙන. නෑ, ඕනෑ දෙයක් කියන්න පුළුවන්. වගකීම් සහගත සමාජ මාධ්‍යයක් තිබීම ගැන විතරයි මේ කතා කරන්නේ.‘

මනූෂ කියා ඇති බොරුව වන්නේ, සමාජ මාධ්‍යයට වාරණ හෝ නියාමන දාන්නේ නැති බව. පනතේ වගන්ති විශාල ප්‍රමාණයක් ඇත්තේ සමාජ මාධ්‍ය වාරණය සහ නියාමනය වෙනුවෙනුයි. යම් ප්‍රකාශයක සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම, ඒවා අසත්‍ය බව තීන්දු කළ පසු එම ගිණුම්, වෙබ් අඩවි, පෝස්ට් ආදිය ඉවත් කිරීම හෝ සීමා කිරීම සඳහා පැහැදිලිව පනතේ වගන්ති තිබෙනවා. පනත කියවා බලන කෙනෙකුට පනතේ අස්සක් මුල්ලක් නෑර වාරණය, මර්දනය තිබෙනවා.

මනූෂ මේ කරන්නේ ලෝඩ් කරන ලද තුවක්කුවකට ඇඟිල්ල දිගු කොට, ‘මේක තුවක්කුවක් නෙවෙයි. මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ‘ කියා ප්‍රකාශ කිරීම.

අනෙක් අතට ඔහු මේකේ තියෙන්නේ ‘අහවල් එක විතරයි‘ කියා කියනවානේ. මොකක්ද ඒ අහවල් එක? කියන දේවල්වලට වගකීම ගන්න ඕනෑලු. සරලවම කීවොත් අන්තර්ජාලය තුළ නිර්නාමිකව ඉන්න එක ‘අපරාධ වරදක්‘ කරලා පනතේ තියෙන වගන්ති ගැන මනූෂ සඳහන් කරනවා. ඔව්, පනතේ එහෙම කොටසක් තියෙනවා. මනූෂගේ කැත පචය වන්නේ, පනතේ තිබෙන්නේ ඒක ‘විතරයි‘ කියා කීම.

කොහොම නමුත්, පනතේ ඇති අනන්‍යතාව ගැන අදහස තුළින්ම පනතේ අවුල තව තවත් පැහැදිලි වෙනවා. මනූෂ නානායක්කාරගේ මාධ්‍ය ලේකම් සංජය නල්ලපෙරුමගෙන් විමසා බලන්න, නල්ලේ පත්තරවලට කොපමණ අන්වර්ථනාමවලින් ලියා තිබෙනවාද කියා. තමන්ගේ අනන්‍යතාව සඟවා ලියා තිබෙනවාද කියා. මනූෂ ගාල්ලේ කල්ට් එකේ චරිතයක්නේ. අහන්න ‘මානිගෙ තීරුව‘ කියල පත්තරවල ලිව්වෙ උප්පැන්නේ ‘මානි‘ කියල නම තිබුණ මිනිහෙක්ද කියලා? දැන් මානිගෙ තීරුව ලිව්වා කියා සුන්දර නිහතමානි ද මැල් හිරේ දානවාද? නැත්නම් ගාල්ලෙන් ආ පත්තරකාරයන් වෙන නම්වලින් ලීවා කියා උංව හිරේ දානවාද? 

දොඩවන්නේ නැතිව ඉන්න මනූෂ!

ලෝකයේ ප්‍රකාශනය පටන්ගත් දා සිට නිර්නාමිකව හෝ වෙනත් නම්වලින් ලිවීම පැවතුණා. ලොව ඕනෑම ශ්‍රේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු නිර්නාමිකව ලියා තිබෙනවා. අදහස් පළ කිරීමේ එක අංගයක් වන්නේ, ‘නිර්නාමික වීමේ අයිතිය.‘ එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වැනි වගන්තියෙන් එන ප්‍රකාශන නිදහසේ එක්තරා මූලික අංගයක්.

වෙනත් නම්වලින් ලිවීම ගැන මනූෂ හෝ මනූෂගේ මහළු දෙවියා රනිල් වික්‍රමසිංහ පුද්ගලිකව අකමැති නම් ඒක වෙන කතාවක්. එය ඔවුන්ගේ හිසේ තියෙන පුද්ගලික මනස්ගාත. ඒකට අපට කිසි ප්‍රශ්නයක් නෑ. එහෙත්, ගැටලුව වන්නේ මනූෂගේ සහ රනිල්ගේ පුද්ගලික විකාර අදහස් රටේ නීතිය බවට පත් කරමින්, මිනිස්සුන්ව අවුරුදු පහක් හිරේ දමන්න හෝ මිලියනයක් දඩ ගහන්න පටන් ගැනීම.

මනූෂට මේ පනතේ බිහිසුණුකම බොරුවලින් යට ගසන්න බැහැ. එය පරාජය කරනතුරු අපි ගමන් කරනවා. මනූෂ ගෙන එන්නට සැරසෙන කම්කරු නීතිත්, කොච්චර බොරුවලින් යටගැසුවත් අපි පරද්දනවා.

Author

%d bloggers like this: