දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත මේ වන විට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (OSA) වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන යන බව පෙනෙන්නට තිබෙනවා.
දිලිත් ජයවීර දෙරණ රූපවාහිනී නාළිකාවේ හිමිකරුවාද වන අතර, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඉඟි කර තිබෙනවා.
මෙවැනි අන්තර්ජාල මර්දන පනත් මර්දනය කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය විසින් සහයෝගය පළ කරන රැල්ලක් ලෝකය පුරා දකින්නට තිබෙනවා.
අන්තර්ජාලය ගැන බිය ඇති කරන පුවත් දිගින් දිගටම ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස තෝරාගැනීම එහි දිගුවක්. ඉරිදා අරුණ මෙන්ම පසුගිය සතියේ අරුණ පුවත්පතකද ප්‍රධාන ප්‍රවෘත්තිවලින් ‘පරිගණක අපරාධ‘ සහ ‘අන්තර්ජාල අපරාධ‘ ආදිය ඉස්මතු කර තිබුණා. ඊට අමතරව මෙම මර්දන පනත සාධාරණීකරණය කරමින් සී.ඒ. චන්ද්‍රප්‍රේම නම් ගෝඨාභය රාජපක්ෂ හිතවතාගේ විශාල ලිපියක්ද අරුණ පුවත්පත පළ කර තිබෙනවා.
ඉරිදා අරුණ පුවත්පතට අනීෂා මානගේ ලියා තිබුණු ප්‍රධාන ප්‍රවෘත්තිය අනුව උපුටා දක්වා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය. එහිදී අන්තර්ජාල අපරාධවල වැඩිවීමක් ගැන කියා තිබුණා.
එහෙත්, මෙම පනතේ වගන්ති 50කට වැඩි සංඛ්‍යාවෙන් ඇත්තේ අන්තර්ජාලයේ සිදු වන අපරාධ ගැන නෙවෙයි. අන්තර්ජාලයේ මිනිසුන් සිදුකරන සාමාන්‍ය අදහස් දැක්වීම් මර්දනය කරමින්, පුද්ගලයන් සිරගත කිරීමට. කාන්තාවන්ට එරෙහි අන්තර්ජාල අපරාධ, දරුවන්ට එරෙහි අන්තර්ජාල අපරාධ, අන්තර්ජාලයෙන් සිදුකරන දූෂණ වංචා ආදිය ගැන ඇත්තේ ඉතා අඩු වගන්ති සංඛ්‍යාවක්.
ඉරිදා අරුණ පුවත්පතට සී.ඒ. චන්ද්‍රප්‍රේම ‘ඔන්ලයින් ආරක්ෂණ යකා කියන තරම් කළුද?‘ යනුවෙන් ලිපියක් පළ කර තිබුණා. ඔහුගේ ලිපියට අනුව අන්තර්ජාලයේ ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්නට හැකි වීම ඔහුට ප්‍රශ්නයක් වී තිබෙනවා.
මානව හිමිකම් කඩ කිරීමෙන්ම කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂගේ ‘ගෝඨාස් වෝ‘ නම් පොත ලියමින් මානව හිමිකම්වලට එරෙහි ආස්ථානයක් ගත් සී.ඒ. චන්ද්‍රප්‍රේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙසද ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළා.
ඔහු කියන විදියට විධිමත් මාධ්‍ය වගකීම් සහගත විදියට ඇත්ත කියනවාලු. ‘විධිමත් මාධ්‍ය ආයතනවල වැටුප් ලබන සේවකයන්- වෘත්තිය මාධ්‍ය වේදීන්- අසත්‍ය කරුණු සත්‍ය ලෙස හුවා දක්වා තමන්ගේ කීර්ති නාමය සහ රැකියාව පවා අවදානමට ලක් කර ගැනීමට නැඹුරු වන්නේ කලාතුරකිනි.‘ කියා චන්ද්‍රප්‍රේම ලියලා.
ඒත්, ඇත්තටම චන්ද්‍රප්‍රේම එහිදී යටගසන කරුණු දෙකක් තිබෙනවා. පළමුවැන්න නම් මේ මාධ්‍ය ආයතනවල සේවකයන්ට නිසිපරිදි වැටුප් නොගෙවන බව. ඇතැම් අය අමතර ආදායම් සොයන්නට- වැඩි වැටුප් ලබන උසස්වීම් ලබන්නට විශාල පීඩනයක සිටිනවා. ඔවුන්ට ඇත්ත කියනවාට වඩා වෙනත් දේවල් කිරීම තුළිනුයි වැඩි වැටුප්වලටත්- අමතර ආදායම්වලටත් ළඟා වෙන්නට පුළුවන් වෙන්නේ.
අමතර ආදායම් කීවාම දේශපාලුවන්ගෙන් හෝ වෙනත් අයගෙන් ලබන සන්තෝසම් ආදියත් ඇතුළත්.
දෙවැන්න තමයි ඔවුන්ගේ රැකියාව පවා අවදානමට ලක් වෙන්නේ අසත්‍ය ලියන අවස්ථාවලට වඩා සත්‍ය ලියන අවස්ථාවලදීයි.
අවශ්‍ය වන්නේ නම්, නාමකරණයන් සහිතව උදාහරණයක් දෙකක් කිව හැකියි.
ඉරිදා ලංකාදීපයේ දයාසීලි ලියනගේ 2010 ජනාධිපතිවරණය සමයේ අති පතරංග බොරු පුවතක් ලියා අතේ මාට්ටු වුණා. අදටත් කිසි ප්‍රශ්නයක් නැතිව රැකියාව කරනවා. අම්මලා 4000ක් වඳකරලා තොරතුරු ඇතිව මාට්ටු වූ තවුහිද් ජමාත් දොස්තර කෙනෙක් ගැන දිවයිනේ හේමන්ත රන්දුණු පුවතක් ලීවා. අදටත් රන්දුණු කිසි අවුලක් නැතිව ඉන්නවා. ඒත්, අර දොස්තර කවුද කියා කවුරුත් දන්නේ නෑ.
කීර්තිනාමයට වෙන හානිය ගැන උදාහණයක් ලෙස කීර්තිගේ නාමය ගැනම ගනිමු. අඟහරුවල හමු වූ ගඩොල් වැනි අහිංසක ප්‍රවෘත්ති පමණක් නොව- ලංකාවේ ජනවාර්ගික ගැටුම් ඇති වන කෙතරම් අසත්‍ය පුවත් කීර්ති වර්ණකුලසූරිය නම් දිවයින මාධ්‍යවේදියා පළ කළාද? හොඳම උදාහරණය යාපනයේදී අහිංසක විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු පොලීසියෙන් වෙඩි තබා ඝාතනය කළ පසු, ඔවුන්ගේ සීටී100 මෝටර් බයිසිකලයේ ඡායාරූප පවා තිබියදී ‘සිසුන් ගියේ නීතියෙන් තහනම් අධිබලැති එන්ජින් ධාරිතාවක් සහිත‘ යතුරුපැදියකින් බව කීර්ති ලිවීම. කීර්තිගේ නාමයට හානි වුණත්, ඔවුන් ඒවා නොතකා තමන්ගේ භාවිතාව දිගටම පවත්වාගෙන යනවා.
අනෙක් කරුණ තමයි, දැන් වැටුප් ලබන මාධ්‍ය වේදීන් ඉන්නේ සාම්ප්‍රදායික මාධ්‍යවල පමණක් නොවන විත්තිය. අන්තර්ජාලයේ වෙබ් අඩවිවලින්, සමාජ මාධ්‍ය නාළිකාවලින් ප්‍රවෘත්ති ලබා දෙන වැටුප් ලබන මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන්වත් මේ පනතෙන් ඉලක්ක කරනවා.