Saturday, December 2

කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)

සාමාන්‍ය ජනතාව දරාගත නොහැකිව සිටින මුත්, කර්මාන්තශාලා ආදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතනවල ජල සහ විදුලි බිල අඩු කරවාගැනීමට ඒවායේ හිමිකරුවන් වූ ධනවතුන් බලපෑම් කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණා.

අප ඉතිහාසයේ සැඟව ගිය විගණකාධිපති වාර්තාවක් ඇසුරෙන් මේ ප්‍රවෘත්තියට අදාල කරුණු ගවේෂණයක් සිදු කළා. අපට ඉතාම වැදගත් කාරණයක් පෙන්වාදෙන්න අවශ්‍යයි.

මෙය ඉතාම නරක, නින්දිත ක්‍රියාවක් බවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව ජල බිලේ බර නිසා පීඩා විඳින විට කර්මාන්ත හිමි සුපිරි ධනවතුන් එයින් නිදහස් වන නිසා විතරක්ම නෙවෙයි. ඊටත් එහා ගිහින්, ලංකාවේ ජල නිෂ්පාදන පිරිවැය ඉහළ දාන්නට හේතු වෙච්ච මහා විනාශයක් කරමින් ඉන්නේ ඔය කර්මාන්ත හිමියන් තමයි. ඔය කර්මාන්ත හිමියන් නිසා, අද කැලණි ගඟේ තියෙන්නේ අසූචි. ඔව්, මිනිස් අසූචිවල සිටින බැක්ටීරියා කැලණි ගඟේ සිටිනවා. ඒ බැක්ටීරියා ඉවත් කරලා පිරිපහදු කරන්නට, ජල සම්පාදන මණ්ඩලයට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා.

කෙසේ නමුදු, බිස්නස් ටයිම්ස් වාර්තා කළ අන්දමට ඒ පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය සමග සාකච්ඡා කර තිබෙන අතර, මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවීමට නියමිතයි. මෙම බිල්පත් අඩු කරගැනීමට ආයෝජන මණ්ඩලයත් මැදිහත්වීමට නියමිත බව ටයිම්ස් ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන්.

සීයට 170 ජල බිල මෑතකදී වැඩි වූ නිසා කර්මාන්තශාලා ‘කම්පනයට පත් වී‘ ඇතැයි එම ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා. මෙම ජල බිල් වැඩි වීම කර්මාන්තශාලාවලට පමණක් නොව සමස්ත ජනතාවටම බලපෑ කාරණයක්. එය දරාගත හැකි කිසිවෙකු නැහැ.

කෙසේ වෙතත්, නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු ටයිම්ස් වෙත කියා තිබුණේ සහන ලබාගැනීමට බලධාරීන් සමග සාකච්ඡා කරන බව. එහිදී ජල-විදුලි බිල් අඩු කිරීම, බිල මත ඇති වැට් ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන බව සඳහන්. විශේෂයෙන් ආයෝජන මණ්ඩල කර්මාන්තවලට ජල සම්පාදන මණ්ඩලයේ ජලය ලැබෙන්නේ වෙනම සැපයුමකින්.

මේ වන විට ජල බිල් වැඩි වීම ගැන සාමාන්‍ය ජනතාවත් පීඩාවකින් සිටිනවා. එහෙත්, මෙම ව්‍යපාරිකයන්ගේ ව්‍යාපාර ගැන සංවේදී වන රජය සාමාන්‍ය ජනතාව ගැන සංවේදී නැහැ. සාමාන්‍ය ජනතාවට රජයේ ප්‍රධානීන් හමු වී සහන ලබා ගන්නත් බැහැ.

සාමාන්‍යයෙන් මෙරට ව්‍යාපාරික පැළැන්තියත්, රජයත් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ ‘රජයෙන් සහන ඉල්ලීම‘ වැරදි බව. රජයෙන් හැමදේම ලබා ගන්න බැරි බව. අර්බුදයක් තිබෙන නිසා එහි ‘බර‘ දරාගන්න ඕනෑ බව.

එහෙත් ඒ අතර තිරය පසුපසින් මෙලෙස සහන ඉල්ලාගැනීමේ උත්සාහය හරහා නිරුවත් වන්නේ ඇත්තටම ‘බර දරන්නේ‘ සාමාන්‍ය බහුතර ජනතාව පමණක් බව.

මේ කර්මාන්ත ලංකාවේ පානීය ජල නිෂ්පාදනයට කරන බිහිසුණු බලපෑම ගැන, 2018 දී නිකුත් කරපු ‘කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධ‘ විශේෂ විගණන වාර්තාව දෙස අපි හැරී බලමු. ඉතාම දූෂිත විදියට, කැලණි ගඟ විනාශ කරන්නට මේ කර්මාන්ත- ව්‍යාපාරික බලවතුන් කටයුතු කරනවා.

‘ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන දිගම ගංගාව හා හතරවන විශාලම ජල ද්‍රෝණිය වන කැලණි ගංගාව බස්නාහිර පළාතේ ජීවත්වන ජනගහනයෙන් සීයට 80කට ආසන්න ප්‍රමාණයකට පානීය ජලය සපයන්නා වූ ප්‍රධානතම ජල මූලාශ්‍රය වේ. මෙම ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව කර්මාන්තශාලා 10,511කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා තිබෙන අතර මෙම කර්මාන්තශාලා සහ ගෘහාශ්‍රිත ක්‍රියාකාරකම් නිසා ගංගා ජලය දූෂණය වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය විය.

එසේම කැලණි ගඟ ආශ්‍රිතව පිහිටි ප්‍රධාන අපනයන සැකසුම් කලාප දෙකෙහි කටයුතු පිරීක්ෂාවේදී එම කලාපවල ඇතැම් කර්මාන්තශාලාවල ක්‍රියාකාරකම්වලින් බැහර කරන අපජලය සම්මත පරාමිතීන්වලට අනුකූල නොවන ආකාරයට අභ්‍යන්තර ජල මූලාශ්‍රවලට හා පරිසරයට බැහැර කරන බව නිරීක්ෂණය විය.‘ යනුවෙන් විගණකාධිපති වාර්තාවේ විධායක සාරාංශයෙහිම සඳහන් වෙනවා.

හැබැයි අපේ මේ කතාවට අදාල අනෙක් වැදගත්ම වාක්‍යය තමයි පහත එක. මේ විදියට අපජලය බැහැර කිරීමේ දූෂිත- වංචනික ක්‍රියාකලාපය නිසා සිද්ධ වෙන්නේ මේකයි. ‘පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම සඳහා ජල පවිත්‍රාගාරවලට දැරීමට සිදුවන පිරිවැය ඉහළ ගොස් ඇත.‘ ඒ ඒ ජල පවිත්‍රාගාරවල පිරිවැය ගණනය කරලා බැලුවාම, රසායනික ද්‍රව්‍යවලට වැඩි වැඩියෙන් වියදම් දරන්න සිද්ධවෙලා තියෙනවා.

‘කැලණි ගඟේ දූෂණයට අදාලව වැඩි බලපෑමක් එල්ල වන්නේ කර්මාන්ත නිසාවෙන්..‘ බව වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා. ඇත්තටම ගඟ අවට සිටින සාමාන්‍ය ජනතාව, කුඩා හෝටල් සහ අනෙකුත් ව්‍යාපාර ආදිය අපද්‍රව්‍ය බැහැර කරන බව සැබෑවක්. මහා කුණු ගඟකට කුණු විසි කරන්න අපි වුණත් පසුබට වෙන්නේ නෑ. ඒත්, කැළණි ගංගාව අසූචි අපායක් බවට පත් කළේ මේ කර්මාන්ත හිමි ව්‍යාපාරිකයන්.

මෙකී වාර්තාව නිකුත් කරන විට සීතාවක අපනයන සැකසුම් කලාපය ලබා තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර 8ක සිට අලුත් කරගෙන තිබුණේ නෑ. සීතාවක තිබුණු අපජල පිරිපහදු මධ්‍යස්ථාන ධාරිතාව ප්‍රමාණවත් නොවූ බවත්, ඒකේ තිබුණ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ යන්ත්‍රය අක්‍රිය වෙලා තියෙන බවත් වාර්තාවේ සඳහන් වුණා.

මේ කර්මාන්ත බහුතරයක පාරිසරික බලපත්‍ර එක්කෝ අවලංගු කරලා, නැත්නම් එහෙම එකක් නැහැ. ඔවුන් පරිසරයට සිදු කරන විනාශය මැන බලන්නේත් නැහැ. මේ පිළිබඳ නවතම කරුණු අප තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් නිකුත් කරලා ලබාගත යුතුමයි.

අප පෙර කීවා, කැලණි ගඟේ අසූචි තිබෙන බව. එසේ කියන්නේ ඇයිදැයි විගණකාධිපති වාර්තාව තුළින්ම පැහැදිලි කරගනිමු.

‘කෝලිෆෝම් බැක්ටීරියා විශේෂ සියල්ල එකට සැලකූ විට එම කාණ්ඩය හැඳින්වීම සඳහා සම්පූර්ණ කෝලිෆෝම් යන පදය භාවිත වේ. කෝලිෆෝම් බැක්ටීරියා යනු මිනිසා සහ අනෙකුත් අචලතාපී සතුන්ගේ අන්ත්‍රයේ සහ මළ ද්‍රව්‍යවලත්, පස ශාක කොටස් සහ දූෂිත ජලයේත් ජීවත් වන බැක්ටීරියා විශේෂ කිහිපයකි.‘ කියා එහි සඳහන්.

මෙම විගණකාධිපති වාර්තාව අනුව, කැලණි ගඟේ ගත්ත ජල සාම්පල්වල සීමාව ඉක්මවලා කෝලිෆෝම් බැක්ටීරියා තියෙනවා.

කැලණි ගඟ ආශ්‍රිතව ප්‍රධාන ජල පවිත්‍රාගාර 02ක් තියෙනවා. එකක් අඹතලේ, අනෙක පට්ටිවිල. බස්නාහිර පළාතේම සීයට 80කට ජලය සපයන්නේ මේවායින් බව විගණකාධිපති වාර්තාව කියනවා. රටේ ජල බිල්පත්වලට ඉහළම බලපෑම කරන්නේ මේ ජල සැපයුම.

‘පසුගිය වර්ෂ 05කදී මෙම පවිත්‍රාගාර දෙකේ ජල පවිත්‍ර කිරීම් කටයුතු සඳහා යොදා ගන්නා ලස රසායනික ද්‍රව්‍ය වියදම් සැලකිල්ලට ගැනීමේදී පිරිපහදුව සඳහා රසායනික ද්‍රව්‍ය ඇතුළත් සමස්ත වියදම වැඩි වී ඇති අතර, එසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් යොදා ගැනීමට හේතු වී ඇත්තේ ජලයේ අපවිත්‍රතාවය ඉහළ යෑම නිසා බව නිරීක්ෂණය විය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ මුළු පිරිපහදු වියදම 2015 වර්ෂයේදී රුපියල් මිලියන 879 සිට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 929 දක්වා වැඩි වුණාලු. පට්ටිවිල ජල පවිත්‍රාගාරයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙලින් ඇලම් සීයට 17කින්, ලයිම් සීයට 37කින්, ක්ලෝරීන් සීයට 74කින් වැඩි වෙලා. රසායනික ද්‍රව්‍ය භාවිතය පහුගිය අවුරුදු 5ක් ඇතුළත වැඩි වීමේ ප්‍රවණතාවක් තියෙනවා.‘

ඒ අනුව මේ ජල පවිත්‍රාගාරවල වියදම වැඩි කරන්නට මේ ජල දූෂණය හේතු වෙලා. කැලණි ගඟේ ජල දූෂණය නිසා සිදු වන හානිය හුදෙක් පවිත්‍රාගාරවලට වෙන වියදම තුළින් පමණක් ගණින්න බැහැ. එයින් සිදුවන පරිසර විනාශය නැවත මහා මූල්‍යමය හානියක් ලෙස ගණනය කරන්න පුළුවන්. එයින් එහාට කොළඹ අවට පිරිසිදු ගංගාවක් තිබුණේ නම් අපට සංචාරක කර්මාන්තයේ සිට තවත් බොහෝ ක්‍රමවලින් උත්පාදනය කරන්න තිබුණු ආදායමත් අමතක කරන්න බැහැ. එයින් සිදු වන සෞඛ්‍ය හානිය දරන්න වෙන්නේත් රජයටම තමයි. මේ කර්මාන්තශාලා අපවිත්‍ර ජලය නිසා සිදු වන සමස්ත විනාශය ගණනය කළහොත්, ඒ පාඩුව රජයටම දරන්නට සිදු වෙන පාඩුවක්. මේ සමස්ත පාඩුව දූෂිත ව්‍යාපාරික පැළැන්තිය නීතිවලින් රිංගමින් හැසිරෙන නින්දිත විලාසය.

‘තවද අවසාන වශයෙන් ජලයේ පිරිපහදු කිරීමේ වියදම ක්‍රමයෙන් වැඩි වන නිසා පානීය ජලය නිෂ්පාදනයේ පිරිවැය අවසාන වශයෙන් පාරිභෝගිකයා වෙත දරාගැනීමට සිදු වීම මෙහි අනෙක් අහිතකර ප්‍රතිඵලය බව නිරීක්ෂණය වේ.‘

මෙම කරුණු හෙළි කළාම, මේ පිලිබඳ ‘විදග්ධ විචාර‘ සිදු කරන්නට දූෂිත ව්‍යාපාරික පැළැන්තියේ ආරක්ෂකයන් පෙරට පැමිණෙන්නට ඉඩ තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ පිරිවැයෙන් සීයට 40කට වඩා සේවකයන් නඩත්තුවට වැය වෙන බව කියන්නට ඉඩ තියෙනවා.

අපි කලින් කීවා වගේ ජල පවිත්‍රාගාරවලට අමතරව ජල සම්පාදනය කියන සම්පූර්ණ ක්‍රියාවලියේදී තව කටයුතු බොහොමයක් තිබෙනවා. පවිත්‍ර කිරීම එක කොටසක් පමණයි. ජල නළ එළීම, නිවෙස්වලට ගොස් මීටර් පරීක්ෂා කොට බිල්පත් ලබා දීම, පරිපාලන සහ විධායක කටයුතු, ගිණුම් කටයුතු ආදී මෙකී නොකී කටයුතු බොහොමයක් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තිබෙනවා. ඒවායින් සමහර වියදම් රජය විසින් දැරිය යුතු පරිපාලන වියදම්.

ජනතාවට ජලය ලබා දීම කියන්නේ සේවාවක්. ජන අයිතියක් තහවුරු කිරීමක්. ඒ සඳහා රජයට යම් වියදමක් දැරිය හැකියි. ඒ සඳහා මුදල් සපයාගැනීමටත් ඕනෑ තරම් ක්‍රම සහ විධි තිබෙනවා. කලින් කීවා වගේ කැලණි ගඟේ විනාශය නතර කිරීමෙන්ම, අපට රජයට නොයෙකුත් පැතිවලින් දරන්න තිබුණු වියදම් අඩු කරන්න පුළුවන්. එහෙත්, අඩු තරමේ ජලය පිරිපහදුවේදී දූෂණය නිසා සිදුවන බලපෑම අවම කරගෙන, අඩු පිරිවැයකට ජලය පිරිපහදු කරගන්නට තිබුණා කැලණි ගඟ පිරිසිදුව තිබුණේ නම්. 

ඔබ ඔවුන්ගෙන් සේවය ලබනවා. ජලය සම්පාදනය ඒ මිනිසුන් වැඩ කරනවා. එතකොට වැටුප් ගෙවන්නට සිද්ධ වෙනවා තමයි. වැඩ කරන මිනිසුන්ට වෛර කරන්න එපා. නිකම් මුදල් ගෙවනවායැයි සිතන්න එපා.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් සේවක පඩිනඩිවලට වැය වෙනවා. මෙය, විශාල සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යා යුතු ආයතනයක් තමයි. ඊට අමතරව දූෂිත දේශපාලනය නිසා වැඩිපුර බඳවාගත් සේවකයනුත් ඇති. විගණන වාර්තාවල ඒ බව පෙන්වා දීලාත් තියෙනවා. උදාහරණයක් විදියට 2015 දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ සේවකයන් 508ක් බඳවාගැනීම, හේතුවක් නැතිව සේවකයන් වෙනත් වැඩවලට මුදාහැරීම ආදී අනවශ්‍ය ක්‍රියාකාරකමුත් තිබෙනවා. එහෙත්, එවැනි ක්‍රියාකාරකම්වලින් නෙවෙයි,  සේවක පිරිවැය ඉහළ මට්ටමක පවතින්නේ.

එසේ වුව, සේවකයන් වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යෑම ජල සම්පාදන මණ්ඩලයේ අවශ්‍යතාවක්. එය දූෂණයෙන් තොරව සිදු කිරීම වැදගත්. සේවක නඩත්තුවේදී තිබෙන දූෂණ අවම කරගැනීම ආණ්ඩුව සිදු කළ යුතු දෙයක්.

කෙසේ වෙතත්, ජල සම්පාදනයේදී ඒකකයක් නිෂ්පාදනය සඳහා රසායන ද්‍රව්‍යවලට, යන්ත්‍ර නඩත්තුවට, අලුත් යන්ත්‍ර මිලට ගැනීමට සහ බලශක්තියට වැය වෙන විශාල පිරිවැයක් අඩු කරගන්න පුළුවන් කැළණි ගංගාව ඇතුළු ජල මූලාශ්‍ර ස්වභාවිකවම පිරිසිදුව තිබෙනවා නම්. එමෙන්ම වැඩි පිරිසකට වැඩිපුර ජලය සපයන්නටත් එසේ වුවහොත් හැකියාව ලැබෙනවා. එතකොට, පෙර කී සේවක පිරිවැයේ බර වැඩි ජල පාරිභෝගිකයන් පිරිසක් අතර බෙදී යනවා.

ජල සම්පාදන මණ්ඩලයේ විගණකාධිපති වාර්තා අනුව ජල සම්පාදන ව්‍යාපෘති ගොඩක් කොට උඩ. බොහෝ අයට ජලය නිසිපරිදි සැපයෙන්නේ නැහැ. ඒවා විධිමත් වීමෙන් ජල සම්පාදනය විධිමත් කළ හැකියි. අනවශ්‍ය විදියට සාමාන්‍ය මිනිස්සුන්ට බර දරන්න වෙන්නේ නෑ.

ඒ සියල්ල සිදු කරනවා වෙනුවට, සාමාන්‍ය ජනතාවට ‘රජයෙන් හැමදේම සහන විදියට ඉල්ලන්න එපා‘ කියමින් ඔවුන් මත තවත් මහා බරක් පටවමින් දැවැන්ත ජල බිලක් ලබා දී, සුපිරි ධනවතුන්ට ‘සහන‘ දීම මේ රටේ තිබෙන විකාර- අයුක්ති සහගත ආර්ථික සිස්ටම් එක මනාව පෙන්වන හරස් කඩක්.

Author

%d bloggers like this: