Saturday, December 2

අලුත්ම මුලතිව් සමූහ මිනීවළ ගැන පත්තර කිහිපයක එකම බොරුව!

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ වළ දමා ඇත්තේ එල්ටීටීඊ වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට අනාවරණය වී ඇතැයි දිවයින සහ දිනමිණ ඇතුළු පුවත්පත් කිහිපයක් වෙත මාධ්‍යවේදී දිනසේන රතුමගේ ලියා ඇත.

එහෙත්, අප කළ සොයාබැලීම් අනුව මෙය එල්ටීටීඊ වධකාගාරයකින් හෝ යුධ හමුදා වධකාගාරයකින් හෝ කිසිදු වධකාගාරයකින් ඇති කරන ලද මිනී වළක් බවට තවම නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

ජුලි 06 වැනිදා මේ පිළිබඳ කරුණු වාර්තා වූ අතර, ජල සම්පාදන මණ්ඩලයේ ජල කැණීම් සඳහා නළ එළීමේ කටයුත්තකද මෙම මිනීවළ හමු වී තිබුණි.

මේ පිළිබඳ අප කළ විමසීමකදී එම ප්‍රදේශයේ තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදියෙකු මෙසේ පැවසීය.

‘කාන්තාවන්ගේ යට ඇඳුම්, සහ නිල ඇඳුම් මෙතැන හඳුනාගත්තා. මේ ඇඳුම් අනුව මේ සිරුරුවල හිමිකරුවන් එල්ටීටීඊ එකේ කාන්තා සොල්දාදුවන් යැයි සැක කරනවා. කොළ පැහැ කැලෑ නිල ඇඳුමක කොටස් හමු වී තිබෙනවා. කාන්තා සෙබළියන් ඒ ප්‍රදේශයට යුධ හමුදාව මේ සමයේදී කාන්තා සෙබළියන් දාලා තිබුණේ නෑ. මුහමාලේවලිනුත් මේ විදියේම අස්ථි කොටස් වගයක් හමු වුණා. යට ඇඳුම් ආදිය තිබුණා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කීවා කාන්තාවකගේ අස්ථි කොටස් බව හඳුනාගත්තා.‘

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ඉදිරියේ මෙයට අදාල විමර්ශනය සිදු කෙරේ. මේ වන විට සිරුරු 13ක් හඳුනාගෙන තිබෙන අතර, එක් පිරිමි සිරුරක් හැර අනෙක් සිරුරු සියල්ල කාන්තාවන්ගේ බව දැනට හඳුනාගෙන ඇති තත්වය වේ. මේ පිළිබඳ අදහස් දැක්වූ නීතිඥ මහතෙකු අප වෙත පැවසුවේ මෙසේය.

‘මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැනට කැණීම් ක්‍රියාවලිය නතර කරලා තියෙනවා. මෙහි කැණීම් කටයුතුවල ක්‍රමවේදයට එකඟ වෙන්න ඕනෑ නිසා. ඒ කියන්නේ මෙය නිසියාකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදු වෙනවාද, යම්කිසි ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායම් අවශ්‍යයද යන කාරණය සාකච්ඡා කිරීම සඳහා. 13 වැනිදාට මහේස්ත්‍රාත් උසාවියේදී ඉදිරියේදී ගත යුතු ක්‍රම වේදය ගැන පරීක්ෂා කොට නියෝග ලබා දීමට නියමිතයි.

දැනට ඇති කරුණු අනුව එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් තමයි එතැන ඉන්නේ. එහෙත් ඒ මිනීවළ හමුදාව විසින් හදපු එකක් කියා දැන්ම කියන්නට බැහැ. හමුදාව ගිහින් දැම්මාද, සටන අතරමැද්දේ මියගියාට පස්සේ වළදැම්මාද කියලා හරියට පරීක්ෂා කරලා බලන්න ඕනෑ. මෙම පුද්ගලයන් මියගිය නිශ්චිත දිනය පරීක්ෂා කරලා තහවුරු කරගතතාට පස්සේ ඒ ගැන දැනගන්න පුළුවන්.‘

මේ පිළිබඳ ජුලි 06 වැනිදා බීබීසී සිංහල සේවය පළ කරන ලද වාර්තාවක් වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් මෙසේ කියා තිබුණි.

“කොක්කුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ.මන්නාරමේත් මේ වගේ සමූහ මිනිවළවල් කීපයක් තිබිබා.ඒත් ඒ සමූහ මිනිවළවල් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබුණේ නෑ.කාබන් පරීක්ෂාව කළා කියලා රජය කිව්වා.ඒ අස්ථි කොටස් අවුරුදු 500 ක් විතර පරණ මිනිස් අස්ථි කොටස් කියලා කිව්වා.ඒ ගැන අපිට විශ්වාස නෑ.””මේ සමූහ මිනිවළ හා මන්නාරමේ හමුවු අස්ථි කොටස් ඩි.එන්. ඒ පරීක්ෂාවන්ට යොමු කරන්න ඕනේ.ඒ හරහා ස්ථිර පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සමූහ මිනිවළවල් ගැන ජාත්‍යන්තර විශේෂඥයින් මැදිහත් කරගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ.ඒ තුළින් සාධාරණ පිළිගැනීමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් බහුතරයක් දෙනා තවමත් අතුරුදහන්.ඒ අය ගැන ස්ථිර පිළිතුරක් රජයෙන් ලැබෙන්නේ නෑ.අතුරුදහන් අය නැවත එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන්,ඥාතීන් බලාගෙන ඉන්නවා.මේ ප්‍රශ්නවලට විසදුම් ඕනේ”

Author

%d bloggers like this: