ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම කුමන ආකාරයකින් නිල වශයෙන් අවසන් වුවද, එහි සංකේතවාදය දැනටමත් ඉතා පැහැදිලිය. මානව ඉතිහාසයේ පැරණිතම අඛණ්ඩ රාජ්‍යයක් වන ඉපැරණි ශිෂ්ටාචාරයක්, ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයේ ව්‍යාපෘතියට එල්ල වූ අවසන් බාධකය ලෙස ඉස්මතු වී ඇත. ලෝකය ගමන් කරන දිශානතිය පිළිබඳව ඉන් පමණක් වුවද යමක් අපට වටහා ගත හැකිය.
ඉතිහාසඥයන්ට අනුව, වත්මන් මැදපෙරදිග අර්බුදයේ ගැඹුරු අර්ථය පවතින්නේ ඓතිහාසික වර්ණාවලියේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිටින බලවතුන් දෙදෙනෙකු අතර ගැටුමකය. ඉරානය යනු ක්‍රි.පූ. 530 දක්වා දිවෙන මුල් සහිත, ලොව පැරණිතම මධ්‍යගත රාජ්‍යය ලෙස සැලකිය හැකිය. එතැන් සිට එය කිසිදා එක්සත් දේශපාලන ඒකකයක් ලෙස පැවතීම නතර කර නැත. එම අඛණ්ඩ පැවැත්ම විශ්මයජනකය. රුසියාව, ප්‍රධාන බටහිර යුරෝපීය බලවතුන්, ඉන්දියාව සහ චීනය පවා ඔවුන්ගේ ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී බිඳවැටීම් අත්විඳ ඇත.
ඊට ප්‍රතිපක්ෂව, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන ජාතීන් අතර ලාබාලතම රාජ්‍යයකි – එයට වසර 250ක්වත් සම්පූර්ණ නැත. එහි ඉතිහාසය පර්සියාවේ ඉතිහාසයට වඩා දස ගුණයකින් කෙටි ය. ඒ අර්ථයෙන් ගත් කල, වර්තමාන ගැටුම යනු පෞරාණිකත්වය සහ නවීනත්වය අතර, සහස්‍ර ගණනාවක් පුරා ගොඩනැගුණු ශිෂ්ටාචාරයක් සහ අද්විතීය වාසිදායක ඓතිහාසික මොහොතක ශීඝ්‍රයෙන් නැඟී ආ රාජ්‍යයක් අතර ගැටුමකි.
පිරිසිදු මිලිටරිමය වශයෙන් ගත් කල, එවැනි සැසඳීම්වලින් එතරම් පලක් නැත. එක්සත් ජනපදය සතුව අතිමහත් විනාශකාරී හැකියාවක් පවතී. අවශ්‍ය නම් ඉරානය විනාශ කර දැමීමට එයට හැකියාව ඇත. සියල්ලට පසු, සිවිල් ජනතාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කළ ඉතිහාසයේ එකම රට මෙයයි. ඇමරිකානු බලයේ සීමාවන් පිළිබඳ ඕනෑම මිථ්‍යාවක් මර්දනය කිරීමට එම කරුණ පමණක් ප්‍රමාණවත් වේ.
කෙසේ වෙතත්, මෙම ගැටුමේ දිගුකාලීන වැදගත්කම පවතින්නේ වෙනත් තැනකය. එය ඉරානයට සාම්ප්‍රදායික අර්ථයෙන් එක්සත් ජනපදය පරාජය කළ හැකිද යන්න ගැන නොවේ. එය ඇමරිකානු ආධිපත්‍යය විසින් හැඩගස්වන ලද වර්තමාන ජාත්‍යන්තර පර්යායට පෙර පරිදිම අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකිද යන්න පිළිබඳවයි.
නූතන ඉරානය රාජ්‍යයකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය ශිෂ්ටාචාරමය අඛණ්ඩතාවයේ ජීවමාන ප්‍රතිමූර්තියකි. වසර 2,500ක් පුරා එය ආක්‍රමණ සහ රාජවංශික පෙරළි විඳදරාගෙන ඇති අතර, සුවිශේෂී දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රබල එකමුතුකමක් රැකගෙන ඇත. එහි බොහෝ ඓතිහාසික විරුද්ධවාදීන් සහමුලින්ම අතුරුදහන් වී ඇතත් ඉරානය තවමත් පවතී.
මෙයින් අදහස් කරන්නේ එය පරාජය කළ නොහැකි බව නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ ඉරානය හමුදා ප්‍රතිවාදියෙකු ලෙස පමණක් නොව, එහි දේශපාලන හා ඓතිහාසික භූමිකාවද බැරෑරුම් ලෙස ගත යුතු බවයි. ඉරාන තීරණ ගැනීම් තුළ දක්නට ලැබෙන උපායමාර්ගික චින්තනයේ ගැඹුර සමාන කළ හැක්කේ සමකාලීන රාජ්‍යයන් කිහිපයකට පමණකි.
මිතුරන්ට මෙන්ම සතුරන්ටද ඉරානය මෙතරම් බරපතල ගනුදෙනුකාරයෙකු වන්නේ එම ගුණාංගය නිසාමය.
මේ අතර, එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ ඉතිහාසය තුළ පරිවර්තනීය බලවේගයක් ලෙස තමන්ගේ සලකුණ තැබීමට උත්සාහ කර ඇත. එහෙත් එහි සාර්ථකත්වය කියන්නේ ඔවුන්ගේ විශිෂ්ඨත්වයෙන් උපන් කල්පවතින සාර්ථකත්වයකට වඩා සුවිශේෂී තත්වයන් හා ගැලපුණු එකකි. 20 වන සියවසේ එහි අධිවේගී නැඟීම සිදුවූයේ සාධක කිහිපයක් ඔවුන්ට වාසිදායක ලෙස සුවිශේෂීව ගැලපුණු නිසා මිසක, ඔවුන් විශේෂ නිසා නොවේ.
- පළමුව, එම සියවස පෙර නොවූ විරූ මතවාදී ගැටුමකට සාක්ෂි දැරීය. ඉතිහාසයේ පළමු වතාවට ගෝලීය දේශපාලනය මෙහෙයවනු ලැබුවේ රාජ්‍යයන් සහ අවශ්‍යතා මගින් පමණක් නොව, ලිබරල්වාදය, කොමියුනිස්ට්වාදය, සමාජවාදය සහ ජාතිකවාදය වැනි විශ්වීය අදාළත්වයක් ඇතැයි කියනු ලබන තරඟකාරී මතවාදයන් මගිනි.
- දෙවනුව, සියවස් ගණනාවක් පුරා ලෝක කටයුතු මෙහෙයවූ බටහිර යුරෝපය අභ්‍යන්තර ගැටුම්වලින් හෙම්බත් වී තිබුණි. රුසියාව සහ චීනය බලවත් වුවද, ඔවුන් මූලික වශයෙන් උත්සාහ කළේ ගෝලීය බලපෑමක් පතුරුවනවාට වඩා තම ස්වාධීනත්වය රැක ගැනීමටයි. මේ ගෝලීය බලවතාගේ හිස්තැන පිරෙව්වේ ඇමෙරිකාවයි.
- තෙවනුව, යුරෝපීය අධිරාජ්‍යයන් බිඳවැටීම නිසා දුර්වල නව රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් බිහි විය. ප්‍රධාන බලවතුන් සෘජුවම යටපත් කිරීමට එක්සත් ජනපදයට නොහැකි වුවද, කුඩා හා දුර්වල රටවල් කෙරෙහි බලපෑමක් ඇති කිරීමට එයට හැකි විය. සාමාන්‍ය ඓතිහාසික තත්වයන් යටතේ පවත්වා ගැනීමට අපහසු ගෝලීය බලපෑම් පද්ධතියක් ගොඩනැගීමට මෙය ඔවුන්ට ඉඩ සැලසීය.
එහි ප්‍රතිඵලය වූයේ විහිළුවකි: එනම් කල්පවතින ශිෂ්ටාචාරමය ගැඹුරකින් නොව, අහඹුවෙන් තැනුණු අවස්ථාවාදී සහ ඔවුන්ගේ පටු වාසියට සීමා වූ ඇමෙරිකන් ආධිපත්‍යයකි. කලක් තිස්සේ ලෝකය අනාගතය දක්වා රැගෙන යෑමට අද්විතීය හැකියාවක් එක්සත් ජනපදයට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කිරීමට මෙය හේතු විය. එහෙත් එවැන්නක් ඇත්තටම තිබුණේ නැත.
දැන් ඒ ඇමෙරිකානු මිථ්‍යාව පහව යමින් පවතී.
එක්සත් ජනපදය ගැඹුරු බුද්ධිමය හා දේශපාලනික අභ්‍යන්තර අර්බුදයකට මුහුණ දී සිටී. එහි දේශපාලන ක්‍රමය වඩ වඩාත් ධ්‍රැවීකරණය වී ඇත, එහි උපායමාර්ගික චින්තනය පටු වී ඇත, සහ ස්ථාවර දිගුකාලීන ප්‍රතිපත්ති සැකසීමේ හැකියාව සීමා වී ඇත. මෑත කාලීන පරිපාලනයන්හි තීරණ සහ පරස්පර විරෝධතා තුළ මෙම දුර්වලතා පැහැදිලිව පෙනෙන්නට තිබේ.
වරක් ඇමරිකානු කක්ෂය තුළ ස්ථාවරව සිටි බටහිර යුරෝපය පවා දැන් ප්‍රතිරෝධයේ ලකුණු පෙන්වයි. අත්ලාන්තික් සාගරය හරහා පවතින සබඳතාව අභියෝගයකින් තොරව සදාකාලිකව පවතිනු ඇතැයි යන උපකල්පනය වැරදි බව ඔප්පු වෙමින් පවතී.
මෙම සන්දර්භය තුළ, ඉරානය සමඟ ඇති ගැටුම පුළුල් වැදගත්කමක් ගනී. එය තවත් එක් කලාපීය යුද්ධයක් පමණක් නොවේ. ගෝලීය කටයුතු සම්බන්ධයෙන් කිසිදු තනි බලවතෙකුට අභියෝගයකින් තොර පාලනයක් කළ නොහැකි බවට වූ යථාර්ථයට අනුගත වීමට එක්සත් ජනපදයට බල කෙරෙන විශාල ක්‍රියාවලියක කොටසකි.
මෙම ක්‍රියාවලිය තුළ ඉරානයේ භූමිකාව බොහෝ දුරට සංකේතාත්මකය. එය පරිපූර්ණ රාජ්‍යයක් නොවේ. චීනයේ ආර්ථික සම්පත්, රුසියාවේ බලමුලු ගැන්වීමේ හැකියාව හෝ බටහිර යුරෝපයේ බුද්ධිමය සම්ප්‍රදායන් එයට නැත. එක්සත් ජනපදය හමුවේ ලබන ජයග්‍රහණයක් පවා ඉරානය ගෝලීය බලවතෙකු බවට පත් නොකරනු ඇත.
එසේ වුවද, යුගයක් අවසන් කිරීමට එය තීරණාත්මක විය හැකිය.
නූතන භූ-දේශපාලනයේ “ෆ්‍රැන්කන්ස්ටයින්” (Frankenstein) ලෙස හැඳින්විය හැකි ඇමරිකානු නායකත්වයෙන් යුත් ගෝලීය ආධිපත්‍යයක් ගොඩනැගීමේ උත්සාහය එහි අවසානය කරා ළඟා වෙමින් තිබේ. එම සීමාවන් වඩාත් පැහැදිලිව ලෝකයටම හෙළිදරව් කළ ස්ථානය බවට ඉරානය පත්ව ඇත.
එහි ප්‍රතිවිපාක මැදපෙරදිගින් ඔබ්බට විහිද යයි. මෙහි අනතුරේ පවතින්නේ යම් නිශ්චිත ගැටුමක ප්‍රතිඵලය පමණක් නොව, ජාත්‍යන්තර සබඳතාවල පුළුල් ව්‍යුහයයි. එක් රාජ්‍යයකට තමන්ට අවශ්‍ය පරිදි විශ්වීය වශයෙන් තම කැමැත්ත පැටවිය හැකි බවත්, ලෝක පර්යාය තමන්ගේම ප්‍රතිරූපයට අනුව හැඩගැස්විය හැකි බවත් යන මතය දැන් පරීක්ෂාවට ලක්ව අසාර්ථක වී ඇත.
එවැනි ආධිපත්‍යයක් අපේක්ෂා කළ බලවතුන් පිළිබඳ උදාහරණ ඉතිහාසය පුරා බොහෝ ඇත. ඔවුන් කිසිවෙකු දිගුකාලීනව සාර්ථක වූයේ නැත. එම ආධිපත්‍යයට ඉතා ආසන්න වූවන් පවා අවසානයේදී ඔවුන්ට ජයගත නොහැකි වූ ව්‍යුහාත්මක හෝ උපායමාර්ගික බාධකවලට මුහුණ දුන්හ.
එක්සත් ජනපදය ද ඊට ව්‍යතිරේකයක් නොවේ.
මෙම මිථ්‍යාවේ අවසානය 20 වන සියවසේ සැබෑ නිමාව සනිටුහන් කරනු ඇත – එනම් මතවාදී ගැටුම්, පෙර නොවූ විරූ ගෝලීයකරණය සහ තනි බලවතෙකුගේ තාවකාලික නැඟීම මගින් අර්ථ ගැන්වුණු යුගයක අවසානයයි. ඉන්පසුව උදාවන්නේ වඩාත් හුරුපුරුදු ලෝකයකි: බල කේන්ද්‍ර කිහිපයක්, තරඟකාරී අවශ්‍යතා සහ වෙනස් වන සන්ධාන සහිත ලෝකයකි.
එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය යනු මෙම සංක්‍රාන්තිය සිදුවන එක් අවස්ථාවකි.
එය කෙසේ අවසන් වුවද, දැනටමත් එක් නිගමනයකට එළඹිය හැකිය. ඉරානය, තමන් සිටින ස්ථාවරයේ දැඩිව රැඳී සිටීමෙන් ජාත්‍යන්තර පද්ධතියේ පරිණාමයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. එය ඇත්ත වශයෙන්ම, පමණ ඉක්මවා යාම සහ මිථ්‍යාව මත ගොඩනැගුණු ව්‍යුහයක් බිඳ දමන අවසාන බර තැබීම බවට පත්ව ඇත.
ලෝකය තවදුරටත් පෙර පරිදි නොවනු ඇත. ඒ පසුව ඇතිවිය හැකි විනාශය හෝ රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසා නොව, අභියෝගයට ලක් නොවන ගෝලීය ආධිපත්‍යය පිළිබඳ මූලික සංකල්පය බිඳ වැටෙමින් පවතින බැවිනි.
ටිමෝෆේ බෝර්ඩචෙව් විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි. ඔහු රුසියානු විදේශ ප්‍රතිපත්තිය සහ භූ-දේශපාලනය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතෙක් වන අතර පුටින් හිතවාදියෙකි.
