(කොළඹදී කියුබාව වෙනුවෙන් පැවති වැඩසටහකදී සමාජ ක්‍රියාකාරික බී. ස්කන්ධකුමාර් කළ අදහස් දැක්වීමක් ඇසුරෙන්)

කියුබාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඳන් කිලෝමීටර් 16,000ක් විතර ඈතින්. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයට තියෙන්නේ කිලෝමීටර් 150ක වගේ පොඩි දුරක්. කියුබාව ඇමරිකාවෙන් කිලෝමීටර් 16,000ක් ඈත වෙලා, ලංකාවට කිලෝමීටර් 150ක් විතර ලඟ වුණා නම් කියලා මට හිතෙනවා.
ආර්ථික විද්‍යාඥයෝ අපිට කියන්නේ කියුබාව දුප්පත් රටක් කියලා. මොකද ඔවුන්ගේ මිනුම් දණ්ඩ වෙන්නේ “ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය” (ඇමරිකානු ඩොලර් 7381 ත් 9605 ත් අතර). හැබැයි, ඒ වගේ භාගයකටත් වඩා අඩු ආදායමක් තියෙන අපේ වගේ දුප්පත් ශ්‍රී ලංකාවට නම්, 1959 විප්ලවයෙන් පස්සේ කියුබාව කියන්නේ හැමදාමත් පොහොසත් රටක්.
කියුබාව පොහොසත් වෙන්නේ ඔවුන්ගේ මිනිස්සුන්ගේ සමාජ මට්ටම නිසා. අඩු ළදරු මරණ අනුපාතිකය, වැඩි ආයු කාලය, ඉහළ සාක්ෂරතාවය, සහ ආදායම් අසමානතාවය අඩුවීම වගේ දේවල් අතින් ඔවුන් කැරිබියන් සහ ඇමරිකානු කලාපයේ අනෙක් රටවලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, සංගීතය, නැටුම්, සිනමාව සහ සාහිත්‍යය වගේ දේවලිනුත් ඔවුන් ලෝක ශිෂ්ටාචාරයට ලොකු දායකත්වයක් දෙනවා.
කියුබාව ජාත්‍යන්තරවාදය ක්‍රියාවෙන් පෙන්නපු විදිය ගැන බැලුවොත් ඔවුන් හරිම පොහොසත්:
පෘතුගාල යටත්විජිතවාදයට සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරපු නිදහස් අරගලවලට ඔවුන් මිලිටරි සහාය දුන්නා.
ඇන්ගෝලාවේ ඉඳන් වෙනිසියුලාව දක්වා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයුවා.
කොවිඩ් වසංගත කාලේ තමන්ගේම එන්නත් නිෂ්පාදනය කළා.
“මට පුළුවන්” (Yo Sí Puedo) වැනි වැඩසටහන් හරහා තමන්ගේ රටේ වගේම අනෙක් රටවලත් නූගත්කම නැති කරන්න උදව් කළා.
අර මම කලින් කියපු ආර්ථික විද්‍යාඥයෝම කියන විදියට ඇමරිකාව තමයි ලෝකයේ පොහොසත්ම රට. ලෝකයේ වැඩිම බිලියනපතියෝ ඉන්න සහ පුද්ගලිකව වැඩිම තුවක්කු ප්‍රමාණයක් තියෙන රටත් ඇමරිකාවයි. හැබැයි මේ පොහොසත්ම රටේ:
මිලියන 37ක ජනතාවක් ජීවත් වෙන්නේ දුප්පත්කමේ. ඒ කියන්නේ කියුබාවේ මුළු ජනගහනය වගේ තුන් ගුණයක්!
මිලියන 27කට සෞඛ්‍ය පහසුකම් නෑ, මොකද ඔවුන්ට රක්ෂණයක් නෑ. ඒක කියුබාවේ ජනගහනය වගේ දෙගුණයක්.
මේ වෙද්දී ඇමරිකාවේ ලක්ෂ හතහමාරකට වඩා පිරිසක් මහා පාරේ ජීවත් වෙනවා (අනාථ වෙලා). ඒක කියුබාවේ අගනුවර වන හවානා වල ජනගහනයෙන් තුනෙන් එකක් විතර වෙනවා.
කියුබාවේ ජාතික වීරයා වෙන ජෝසේ මාටි 19 වෙනි සියවසේදී මෙහෙම ලිව්වා: “මම ජීවත් වුණේ අර රාක්ෂයාගේ කුස තුළයි, මම ඒකාගේ අභ්‍යන්තරය ගැන පවා දන්නවා.” ඒ ‘රාක්ෂයා’ කිව්වේ ඇමරිකා එක්සත් ජනපදයට. දැන් ඒ රාක්ෂයා එදාටත් වඩා භයානක වෙලා.
ඒකා දැන් තමන්ගේම මිනිස්සුන්වත් ගිලගන්නවා. නිවාස හදනවා වෙනුවට ඒකා කරන්නේ හිරගෙවල් හදන එක. දුප්පත් මිනිස්සුන්ට කන්න දෙනවා වෙනුවට ලොකු සමාගම්වල ලාභය වැඩි කරන්න වැඩ කරනවා. අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරනවා වෙනුවට යුද්ධය සහ විනාශය වෙනුවෙන් බිලියන ගණන් ඩොලර් පුච්චනවා.
1959 ජනතා විප්ලවයෙන් පස්සේ, ඇමරිකාව හැමවෙලේම උත්සාහ කළේ කියුබාව ආපහු පරණ බැටිස්ටා පාලන කාලෙට ඇදලා දාන්න. ඔවුන් කියුබාව ආක්‍රමණය කරන්න උදව් කළා, ත්‍රස්තවාදී ක්‍රියාවලට මුදල් දුන්නා. ෆිදෙල් කැස්ත්‍රෝව ඝාතනය කරන්න කීප සැරයක්ම උත්සාහ කළා. ජාත්‍යන්තරව කියුබාව හුදකලා කරන්න හැමදේම කළා.
ලෝකයේ නිදහසේ නායකයා කියලා තමන්වම හඳුන්වාගන්නා ඇමරිකාව, ලෝකයේ දීර්ඝතම වෙළඳ තහනම පනවලා තියෙන්නෙත් කියුබාවට. මේ සම්බාධක (Bloqueo) ට්‍රම්ප් 2.0 යටතේ දැන් තවත් දරුණු වෙලා. මේ නිසා කියුබාවේ විදුලිය විසන්ධි වීම්, වතුර හිඟය, කෑම සහ බෙහෙත් හිඟය වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. මේකෙන් ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ව පීඩාවට පත් කරලා, කියුබාව ඇතුළේ කැරැල්ලක් ඇති කරලා, ඇමරිකාවට ඕන විදියට පාලනයක් ඇති කරන්නයි.
ඔවුන්ට ඕනේ කියුබාව දණගස්වන්න. මොකද කියුබාව කෙලින් ඉන්න තාක්කල් ඒක මුළු ලෝකයේම පීඩිත ජනතාවට ලොකු ආදර්ශයක් සහ ශක්තියක්. කියුබාවේ ඒ විප්ලවීය අභිමානය සහ අයුක්තියට එරෙහි වෙන ඒ ගින්දර නිවලා දාන්නයි ඔවුන්ට ඕනේ. කියුබාව විනාශ නොවී ඉන්න තාක්කල් ඇමරිකානු අධිරාජ්‍යයට බයයි. මොකද කියුබාව අද හුදකලා වෙලා හිටියත්, ඇමරිකානු ‘ගොලායත්’ බයයි ඩේවිඩ්ගේ අතේ තියෙන ඒ ‘ගල් පතුරට’.
කියුබාවේ අනාගතය තීරණය කරන්න ඕනේ එහේ මිනිස්සු මිසක් පිටරටවල් නෙවෙයි. චේ ගුවේරා කිව්වා වගේ, කියුබාවට දක්වන හොඳම සහයෝගය තමයි අධිරාජ්‍යවාදයට එරෙහිව හැම තැනකම අලුත් පෙරමුණු ඇති කරන එක.
අපේ ආණ්ඩුව කියුබානු තානාපති එක්ක කරන සාකච්ඡාවලදී කියන හිස් වචනවලින් විතරක් වැඩක් නෑ. ඒ වචන කියුබාවට පක්ෂ ක්‍රියාවන් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම අර රාක්ෂයාට විරුද්ධව කෙලින් ඉන්න අපේ රටට පුළුවන් වෙන්න ඕනේ.
2008 දී, ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් මේ ශාලාවෙදීම කියුබාවට සහයෝගය දක්වන සමුළුවක් තිබ්බා. එදා ‘මියාමි 5’ නිදහස් කරන්න කියලා ඔවුන් බල කර සිටියා. එදා හිටපු ජේ.වී.පී. එක අද ආණ්ඩුවේ හිටියා නම් කියලා අපිට හිතෙනවා!
2016 දී විහාරමහාදේවි පිට්ටනියේදී ජේ.වී.පී. එක ෆිදෙල් කැස්ත්‍රෝව සමරද්දී විජිත හේරත් සහෝදරයත් ඒකට සහභාගී වුණා. එදා ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව කියුබාවට සහයෝගය දෙනවා කියලා ඔවුන් පොරොන්දු වුණා. අද විජිත හේරත් සහෝදරයා විදේශ ඇමති වෙලා හිටියා නම් කියලා අපිට හිතෙනවා!
