හර්මන් ගුණරත්න අරුණට දුන් සාකච්ඡාවෙන් සිංහලකරණය ගැන ආයෙමත් තහවුරු කරයි!

උතුරු නැගෙනහිර පළාත්වල ජනවිකාශනය වෙනස් කිරීම සඳහා සිංහල ජනතාව පදිංචි කරවීමේ ක්‍රියාවලිය (Sinhalization) රාජ්‍ය අනුග්‍රහය ඇතිව, සැලසුම් සහගතව සිදු වූ බවට දෙමළ දේශපාලන පක්ෂ විසින් දශක ගණනාවක් තිස්සේ එල්ල කරන චෝදනාව සත්‍යයක් බව තහවුරු කෙරෙන ආන්දෝලනාත්මක පාපොච්චාරණයක්, හර්මන් මාලිංග ගුණරත්න නම් වූ නුවරඑළියේ හිටපු වතු වැවිලිකරුවා සහ මහවැලි අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් සිදු කර තිබේ.

ඔහු කළ හෙළිදරව්වකට අනුව, “සියලු යුද්ධ සටන් කරන්නේ ඉඩම් වෙනුවෙන්” යැයි පවසමින්, ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ මුවාවෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට මෙම ජනපදකරණය සැලසුම් කර තිබුණි. එවක බලවත්ම අමාත්‍යවරයෙකු වූ ගාමිණී දිසානායක මහතාගේ සෘජු නියෝග මත, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කරවූ ආකාරය ඔහු සති අග අරුණ පුවත්පතට ලබා දුන් පුවත්පත් සාකච්ඡාවකදී විස්තර කර ඇත.

මේ කතාව මීට පෙර තමා ලියූ කෘතීන්හිදී ඔහු පියවරෙන් පියවර විස්තර කර ඇත.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායකව මුණගැසුණු හැටි මෙසේ විස්තර කර තිබුණි: ‘ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුවල සභාපතිවරයා විදියට වැඩ කළේ මම. අක්කර එක්ලක්ෂ පන්දාහක් මගේ යටතේ තිබුණා. මම නුවරඑළිය ජනවසමේ (ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ) ඉන්න කාලේ නුවරඑළියේ මන්ත්‍රීවරයා ගාමිණී දිසානායක. අපි හදුනාගෙන, යාළුවෙලා මැතිවරණ ව්‍යාපාරයටත් උදව් කළා.’

නිලධරයෙකු සහ වතු ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කළමණාකරුවෙකු වූ ඔහු දේශපාලනය හා සම්බන්ධතා හදාගත් හැටි එහි විස්තර කර තිබේ. ‘මම වත්තට ගිහින් ඉන්නකොට ගාමිණී දිසානායක මට කතා කළා. ඔතැනට වෙලා ඉන්න එපා මහවැලියට එන්න කියලා කිව්වා. මම මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) සාමාන්‍යාධිකාරීවරයා විදියට එකතු වුණා. ඒ.එන්.එස්. කුලසිංහ මහත්තයා තමයි ඒකේ සභාපතිවරයා විදියට හිටියේ. ඒකේ ගාමිණී එක්ක කිට්ටුවෙන් වැඩ කළා.’

දිඹුලාගල නායක හිමියන් (කිතුල්වන සීලාලංකාර හිමි) වතාවක් ගාමිණී දිසානායක හමු වී තමන් හමුවීමට පැමිණි හැටි ඔහු කියා තිබේ. මෙය සිදුවූයේ 1983 කළු ජූලියට ආසන්නව අගෝස්තු මාසයේදීය. එහිදී තමන් අතර ඇතිවූ සංවාදයත්, ඉන්පසු ගාමිණී දිසානායක මහතා ලබා දුන් උපදෙස් ගැනත් ඔහු මෙලෙස හෙළිදරව් කළේය.

“දිඹුලාගල හාමුදුරුවෝ කලින් අඳුනනවා. ඔබතුමන්ලා මහවැලිය සංවර්ධනය කරගෙන යන ගමන් මඩකලපුව පැත්තේ දෙමළ අය ඉඩම් අත්පත් කරගෙන එන හැටි පේන්නේ නැද්ද කියලා (උන්වහන්සේ) ඇහුවා. මම ඒ ගැන දන්නේ නෑ කියලා කිව්වම කවුරු හරි එවලා බලන්න කිව්වා. ඒ අනුව මම කෙනෙක් යැව්වා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලා තොරතුරු බලන්න යවපු කෙනා මට කිව්වා.”

ඔහු එසේ කීවද, එකල දිසාපතිවරයා වාර්තා කර තිබුණේ අසල ගම්මානවල දෙමළ පවුල් කිහිපයක් පමණක් සාමාන්‍ය පරිදි ඉඩම්වලට ඇතුළු වී සිටි බවත්, එය මහා පරිමාණ ආක්‍රමණයක් නොවූ බවත්ය. එහෙත් ගුණරත්න ඇතුළු පිරිස එය විශාල තර්ජනයක් ලෙස හුවා දැක්වූහ. මේවා සුළු ගමකින් ගමකට පවුලක් ගොස් පදිංචි වීමකට උත්තර දෙනවායැයි කියමින් දහස් ගණනක් සිංහලයන් බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීමකි.

මෙම තත්ත්වය තහවුරු කර ගැනීමෙන් පසු ඔහු ඒ බව අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට දැනුම් දී ඇත. “මේ ගැන මම ගාමිණීට කිව්වා. ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගලට කතා කරලා හමුදාව යවන්න බැරිද කියලා ඇහුවා. එක පැත්තකින් යුද්ධයක් යන නිසා හමුදාව යවන්න බෑ කිව්වා.”

හමුදාව යෙදවිය නොහැකි බව දැනගත් පසු ගාමිණී දිසානායක මහතා ලබා දී ඇත්තේ පුදුම සහගත නියෝගයකි. එය හුදෙක් පරිපාලන තීරණයක් නොව නීතිය අතට ගැනීමකි. “‘ඒ අය (දෙමළ ජනතාව) අනවසරයෙන් පදිංචි වෙනවා නම් ඔයත් අනවසරයෙන් පදිංචි කරන්න’ කියලා (ගාමිණී) කිව්වා. ‘කමක් නැද්ද?’ කියලා මම ගාමිණීගෙන් ඇහුවා. ‘කමක් නෑ ඔයා ඒක කරන්න’ කියලා මට කිව්වම මම දිඹුලාගල හාමුදුරුවන්ට කතා කළා.”

අමාත්‍යවරයාගේ මෙම රහසිගත අනුමැතිය ලැබුණු පසු දිඹුලාගල හිමියන් හරහා මෙම සැලසුම ක්‍රියාත්මක විය. “‘ඒ අය අනවසරයෙන් පදිංචි වෙනවා නම් පොළොන්නරුව පැත්තෙන් සිංහල අය පදිංචි කරන්න’ කියලා (මම හාමුදුරුවන්ට) කිව්වා. ‘ඇත්තද මහත්තයෝ’ කියලා අහපු දිඹුලාගල හාමුදුරුවෝ ‘දවස’ වැනි පුවත්පත්වලට ගිහින් දැන්වීමක් දැම්මා. ‘සශ්‍රීක ඉඩම් බෙදීමට තිබේ’ කියලා දැන්වීමේ දැම්මා.”

මෙම මෙහෙයුම ආරම්භ වූයේ 700ක පමණ පිරිසකගෙන් වුවද, දින කිහිපයක් තුළ එය ඝාතීය ලෙස වර්ධනය විය. ගුණරත්න පවසන පරිදි: “සිංහල මිනිස්සු (මුලින් 25,000ක් පමණ වුවද සැප්තැම්බර් අග වන විට එය 40,000 – 45,000 දක්වා ඉහළ ගියා) විතර ඉඩම් ගන්න ගියා. කාගෙන්වත් අහන්නේ නැතිව තමයි දැන්වීම දාලා සෙනඟ අරගෙන ගියේ.”

මෙම පදිංචිකරුවන්ට සහාය වීම සඳහා මහවැලි අධිකාරිය විසින් නිහඬවම සම්පත් ලබා දුන් බව ගුණරත්න පිළිගත්තේය. බුල්ඩෝසර්, වාහන, ලොරි, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය සපයා දුන් අතර, හිටපු හමුදා සාමාජිකයින් යොදවා සිවිල් මිලීෂියාවක් ලෙස පදිංචිකරුවන් සන්නද්ධ කිරීමටත්, අවි පුහුණුව ලබා දීමටත් කටයුතු කෙරුණි.

මෙම ක්‍රියාවලිය එදා දෙමළ ජනතාව දුටු ආකාරය ගැනද ඔහු සඳහන් කරයි. “දෙමළ අය ඒක ආක්‍රමණයක් විදියට හිතුවේ.” ඔහු නොකියන කොටස නම් දෙමළ ජනතාව එය ආක්‍රමණයක් ලෙස සිතුවේ සැබෑ ලෙසම එය ආක්‍රමණයක් වූ නිසා බවයි.

මෙම සිදුවීමත් සමඟ බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. මඩකලපුවේ දෙමළ මන්ත්‍රීවරයෙකු සහ එවක ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ කේ.ඩබ්ලිව්. දේවනේගම් මහතා මෙය “තම ඡන්ද කොට්ඨාසය සිංහල ආක්‍රමණයකට ලක්වීමක්” ලෙස හෙළා දුටු අතර, විපක්ෂ නායක අමිර්තලිංගම් මහතා මේ බව ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි වෙත පැමිණිලි කළේය. ඉන්දියාවේ දැඩි පීඩනය හමුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වහා ක්‍රියාත්මක වීමට සිදුවිය.

කෙසේ වෙතත් මෙලෙස බලහත්කාර ඉඩම් ඇල්ලීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධතා එල්ලවෙද්දී ඔහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වී තිබුනි. මෙය ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඉන්දියාව සනසාලීම සඳහා සිදු කළ ‘දේශපාලන රංගනයක්’ බව ගුණරත්නගේ විස්තරයෙන් පැහැදිලි වේ. ඇත්ත වශයෙන්ම ජේ.ආර්. කෝප වී තිබුණේ මෙය රහසිගතව පවුල් 500ක් යොදවා කරනවා වෙනුවට 45,000ක් යොදවා ප්‍රසිද්ධියේම කිරීම (messing up the affair) ගැනය.

අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විනිර්මුක්තය ලබා දීමට රජය සම්බන්ධ වූ හැටි ඔහු මෙසේ විස්තර කරයි: “මම විතරක් නෙවෙයි කිහිපදෙනෙක් අත්අඩංගුවට පත් වුණා. මූලිකවම මම තමයි අත්අඩංගුවට ගත්තේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වුණ එන්.ජී.පී. පණ්ඩිතරත්නත්, ගාමිණී එක්ක වැඩ කළේ. මම අත්අඩංගුවට පත් වුණාම පණ්ඩිතරත්න මට උපදේශකයක් දුන්නා. තුවක්කු, අනෙක් දේවල් දුන්නාද ඇහුවොත් දුන්නා කියන්න. ඒක දුන්නේ පදිංචි කරන්න නෙවෙයි පදිංචිවෙලා හිටපු අය අයින් කරන්න කියලා කියන්න කියන උපදෙස මට දුන්නා. මම ඒ විදියටම කිව්වා.”

“මේ සිදුවීම වෙලා ටික දවසකට පස්සේ (ජනාධිපති ආරක්ෂක උපදේශක) රවී ජයවර්ධන ඇවිත් මම හමුවුණා. මට එක එක පැතිවලින් මේ ගැන තොරතුරු ලැබෙනවා. ඇත්තටම වුණ දේ කියන්න කියලා මට කීවා. එතකොට මම වුණ ඇත්ත කතාව කිව්වා. මේකේ කිසිම ප්‍රශ්නයක් නෑනේ කියලා රවී මට කිව්වා. ප්‍රශ්නය වෙන්නේ මේ ගැන මගේ තාත්තට කියපු නැති එකනේ කියලා රවී කිව්වා. එහෙම කියලා තිබුණා නම් අපි මේක සමනය කරනවානේ කියලා රවී කිව්වා. මාව පොලීසියෙන් නිදහස් කලේත් ජේආර් තමයි.” (මෙහිදී ඔහුව ඇප මත මුදා හැරීමට එස්. තොණ්ඩමන් අමාත්‍යවරයා මැදිහත් වූ බව ද ගුණරත්න වෙනත් තැනක පිළිගෙන තිබේ).

මෙම හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයේ මූලික ගැටලුවක් වන ‘ඉඩම් බලතල’ සහ ‘ජනපදකරණය’ පිළිබඳ කතිකාවත තහවුරු කරන්නකි. 1948 නිදහස ලැබීමෙන් පසු ගල්ඔය ව්‍යාපාරයේ සිට මහවැලි ව්‍යාපාරය දක්වා වූ සංවර්ධන ව්‍යාපෘති හරහා උතුර සහ නැගෙනහිර පළාත්වල ස්වභාවික ජනවිකාශනය කෘත්‍රිමව වෙනස් කිරීමට (Sinhalization) කොළඹ ආණ්ඩු කටයුතු කළ බවට දෙමළ දේශපාලනඥයෝ දිගින් දිගටම චෝදනා කළහ.

විශේෂයෙන් මහවැලි ‘L’ කලාපය වැනි ව්‍යාපෘති හරහා මායිම් ගම්මාන නිර්මාණය කිරීමත්, සිංහල ජනතාව පදිංචි කරවීමත් හුදෙක් සංවර්ධන පියවරක් නොව, දෙමළ ඊළාම් සිතියමේ භූමිය ඛණ්ඩනය කිරීමේ දේශපාලන උපාය මාර්ගයක් විය. ගුණරත්න පසුව හෙළි කළ පරිදි, ඔවුන්ගේ සැලසුම වූයේ ත්‍රිකුණාමලය පොළොන්නරුව සමඟ ඒකාබද්ධ කර හෝ මුලතිව් ප්‍රදේශයෙන් ‘වැලි ඔය’ ලෙස නව සිංහල දිස්ත්‍රික්කයක් නිර්මාණය කරමින් උතුරු නැගෙනහිර පළාත් මායිම් නැවත නිර්ණය කිරීමයි.

මෙහිදී මඩකලපුවේ ඉඩම් අල්ලනවා යැයි ඔවුන් චෝදනා කළේ එම පළාත්වලම ජීවත් වූ දෙමළ හා මුස්ලිම් ජනතාව විසින් ඉඩම්වල සිදුකළ වගා කිරීම්ය. එම ප්‍රදේශවල ජනතාව ඉඩම්වල වගා කිරීම හුවා දක්වමින් ඔවුන් කළේ පිටින් සිංහල ජනතාව ගෙනගොස් බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීමය. දිඹුලාගල හිමි වැනි අයගේ චීවරයේ බලයත්, ගාමිණී දිසානායකලාගේ දේශපාලන බලයත්, මෙවැනි නිලධාරී-ව්‍යාපාරික පිරිස්වල සංවිධාන බලයත් එයට හවුල් විය.

ඔහුගේ මතක සටහන් වන “For a Sovereign State” (1990) කෘතියේ සහ ඉන් පසුව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවලදී, මදුරු ඔය මෙහෙයුම යනු දෙමළ ඊළාම් පදනම විනාශ කිරීම සඳහා ඉහළම මට්ටම්වල පැවති “රහස් සැලැස්මක” කොටසක් බව ඔහු නිර්භීතව තහවුරු කළේය.

එනම්, දෙමළ මව්බිමේ හදවතෙහිම සිංහල ප්‍රජාවන් පදිංචි කිරීම මගින් අනාගත දෙමළ බෙදුම්වාදය වැළැක්වීම එහි අරමුණ විය. නව සිංහල ජනාවාස මුල් බැසගත් පසු පළාත් සීමා නැවත නිර්ණය කිරීමේ යෝජනාවක් ද ඔහු ගෙනහැර දැක්වීය: එහි අදහස වූයේ උතුරු හා නැගෙනහිර පළාත් කැබලි කර, යාපනය අවට කුඩා උතුරු පළාතක පමණක් දෙමළ බහුතරයක් සිටින ලෙසත්, අවට අනෙකුත් සියලුම ප්‍රදේශ සිංහල ආධිපත්‍යය දරන ප්‍රදේශ බවට පත් කිරීමත් ය.

උදාහරණයක් ලෙස, මෙම සැලැස්ම යටතේ ත්‍රිකුණාමලය සිංහල බහුතරයක් සහිත පොළොන්නරු දිස්ත්‍රික්කය සමඟ ඒකාබද්ධ කර නව “ඊසානදිග පළාතක්” (ත්‍රිකුණාමලයේ දෙමළ බලපෑම අඩු කරමින්) නිර්මාණය කිරීමටත්, උතුරු මුලතිව් ප්‍රදේශයෙන් සිංහල බහුතරයක් සහිත නව වැලි ඔය දිස්ත්‍රික්කයක් නිර්මාණය කර එය උතුරු මැද පළාතට ඈඳා ගැනීමටත් යෝජනා විය. මෙම ජන විකාශන ඉංජිනේරු විද්‍යාවේ (demographic engineering) උපායමාර්ගික වටිනාකම තමා තවමත් විශ්වාස කරන බව ගුණරත්න අවංකවම පිළිගත් අතර, ඔහු කනගාටුව පළ කළේ “ඉහළම මට්ටමේ නිල අනුග්‍රහයක් නොතිබූ නිසා සැලැස්ම අසාර්ථක වූ” බව පවසමිනි.

සාරාංශයක් ලෙස, දෙමළ ජාතිකවාදීන් විසින් සැලසුම් සහගත සිංහලකරණය ගැන නැගූ චෝදනා හුදු මනඃකල්පිතයන් නොව සක්‍රීය ප්‍රතිපත්තියක් වූ බවට ඔහුගේ සාක්ෂිය කදිම සාක්ෂියක් සපයයි: “රජයේ අනුග්‍රහය ලත් ජනපදකරණ ව්‍යාපෘති යනු උතුර සහ නැගෙනහිර සිංහලයන් ලවා ජනපදකරණය කිරීමේ මෙවලමක් වූ අතර” එමගින් දෙමළ ජනතාව ඔවුන්ගේම ප්‍රදේශවල සුළු ජාතීන් බවට පත් කිරීම අරමුණු කර තිබුණි.

එදා “අනවසරයෙන් පදිංචි කරන්න” යැයි දුන් දේශපාලන නියෝගය අදටත් නොවිසඳුණු වාර්ගික ගැටලුවේ අමිහිරි යථාර්ථය පෙන්වා දෙයි. එමෙන්ම එකල ජේආර් ජයවර්ධන රජය ඍජුවම එම කටයුතුවලට සම්බන්ධ වූ ආකාරයත් පෙන්වාදෙයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading