නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවයකදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිස අත ඔසවා දිවුරුම් දෙන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ. අග්‍රාමාත්‍යවරියගේම ෆේස්බුක් පිටුවෙහි පළ වූ ඡායාරූප කිහිපයක් ඇසුරෙන් මෙම සංවාදය ඇතිව තිබේ.
ඇතැම් පිරිස් මෙය නාසි ජර්මනියේ “හිට්ලර් ආචාරයට” (Nazi Salute) සමාන කරමින්, එය හමුදා විනය කඩකිරීමක් සහ දරුවන්ගේ මනස විකෘති කිරීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරයි.
කෙසේ වෙතත්, මෙය හුදු දේශපාලනික අරමුණක් සහිතව නිර්මාණය කරන ලද අසත්‍ය මතයක් බව කරුණු විමසා බැලීමේදී තහවුරු වේ.

මෙම ඡායාරූපවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සම්ප්‍රදායට අනුව සෑම වසරකම ජනවාරි 01 වැනිදා හෝ වැඩ ආරම්භ කරන පළමු දිනයේදී පවත්වනු ලබන “රාජ්‍ය සේවක ප්‍රතිඥාව” ලබා දීමේ අවස්ථාවයි.
මීට අමතර විවිධ අවස්ථාවල දිවුරුම් දීම්වලදී වසර ගණනාවක් තිස්සේ ලංකාවේ මෙම දිවුරුම් දීමේ ඉරියව්ව පාවිච්චි කර තිබේ.

වසර ගණනාවක සිට පැවත එන මෙම සම්ප්‍රදායේදී, සියලුම රාජ්‍ය සේවකයින් රට වෙනුවෙන් කාර්යක්ෂම සහ අවංක සේවයක් ඉටු කරන බවට ප්‍රතිඥා දීම සිදු කරයි. 2026 වසරේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පවත්වා ඇත.
දිවුරුම් දීමේදී දකුණු අත ඉහළට එසවීම (Right hand raised) යනු ලොව පුරා පිළිගත් සාමාන්‍ය සම්ප්‍රදායක් වේ. කෙසේ වෙතත් ඇතැම් බටහිර රටවල් එම ක්‍රමය පසුකාලීනව වෙනස් කර ඇත්තේ හැකි තරම් නාසි ආචාර කිරීමෙන් වෙනස් වීම වෙනුවෙනි.

නූතන දිවුරුම: මෙහිදී අත ඔසවා අත්ල ඉදිරියට දිගු කිරීම සිදු කරන්නේ තමන් සත්‍යවාදීව සහ අවංකව පොරොන්දු වන බව පෙන්වීමටයි.

නාසි ආචාරය (Nazi Salute): හිට්ර්ගේ ආචාරයේදී අත කෙලින්ම ඉදිරියට දිගු කිරීම වෙනුවට මදක් පසෙකට වන්නට දිගු කරන අතර අත්ල පහතට හරවා (Palm down) මදක් උඩ දෙසට හරවා තබා ගනී.
මෑතදී ඇමෙරිකාවේ ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් නාසි ආචාරයට සමානකම් දක්වන ආචාරයක් දැක්වුවේයැයි සමාජ මාධ්‍යවල විවාදයක් ඇති විය.

සිවිල් නිලධාරීන් සමඟ එක්ව “රාජ්‍ය සේවා ප්‍රතිඥාව” කියවීම හමුදා නිලධාරීන් විනය කඩකිරිමක් ලෙස සැලකීමට නොහැක. සෑම වසරකම ජනවාරි 01 දා ත්‍රිවිධ හමුදාව ද සිය කඳවුරු තුළ හෝ මෙවැනි පොදු උත්සවවලදී මෙම ප්‍රතිඥාව ලබා දීම සාමාන්‍ය ක්‍රියාවලියකි. සමූහයක් ලෙස වාචිකව ප්‍රතිඥාවක් ලබා දෙන අවස්ථාවලදී (Mass Pledge) හමුදා සාමාජිකයින් ද අත ඔසවා ඊට සහභාගී වීම විනය කඩකිරීමක් නොව, එම අවස්ථාවට අනුගත වීමකි.
මෙහි සිටින කුඩා දරුවා සිය දෙමාපියන් අනුකරණය කරමින් අත ඔසවා සිටියි. මෙය “මොළ සේදීමක්” ලෙස හුවා දැක්වීම ද්වේශ සහගතය. පාසල් උත්සවවලදී හෝ ජාතික උත්සවවලදී දරුවන් මෙලෙස හැසිරීම සාමාන්‍ය දෙයකි.
මෙය හිට්ලර් ආචාරයක් හෝ ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් නොව, ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික රාජ්‍ය සේවා දිවුරුම් දීමේ උත්සවයයි. කෙසේ වෙතත්, ලෝකයේ නූතන ප්‍රවණතාවලට අනුගතව රාජ්‍ය සේවකයන් දිවුරුම් දෙන අවස්ථාවේදී අත්ල ඉදිරියට පෙනෙන සේ තබා ගනිමින් නව ආචාර ක්‍රමයක් පාවිච්චි කිරීම ගැන රජයට සලකා බැලිය හැක.
