ඉරාන-ඇමරිකානු සාම සාකච්ඡා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැය 21ක දැවැන්ත කාලයකින් පසු නිමාවට පත්විය.
සාකච්ඡා වට අවසානයේ මාධ්‍ය අමතමින් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් (JD Vance) සිය ස්ථාවරය ඉතා පැහැදිලිව ඉදිරිපත් කළේය.
“අවාසනාවන්ත ලෙස අපට එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණා. මෙය ඇමරිකාවට වඩා ඉරානයට අවාසිදායක තත්ත්වයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා,” යැයි ඔහු පැවසීය.
ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ නොසිටියද, ඔහු නිරන්තරයෙන් සාකච්ඡා සමඟ සම්බන්ධ වූ බව වාන්ස් හෙළි කළේය. “අපි පසුගිය පැය 21 තුළ වාර දොළහකට වඩා ජනාධිපතිවරයා සමඟ කතා කළා. මුළු ජාතික ආරක්ෂක මණ්ඩලයම මීට සම්බන්ධ වී සිටියා. ජනාධිපතිවරයා අපට පැවසුවේ අවංකවම සාකච්ඡා කර ගිවිසුමක් ලබා ගැනීමට උපරිම උත්සාහය දරන ලෙසයි.”
ඇමරිකාව සාකච්ඡාවලදී ඉතා නම්‍යශීලී වූ බව වාන්ස් වැඩිදුරටත් පැවසීය. “අපි බොහෝ දුරට නම්‍යශීලී වුණා, යම් සහන ලබා දීමට උත්සාහ කළා. නමුත් ඉරානය අපගේ කොන්දේසි පිළිගැනීමට සූදානම් වුණේ නැහැ.”
කෙසේ වෙතත් වාන්ස් අවධාරණය කළේ ඇමරිකාවට අවශ්‍ය වුණේ ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැති බවට වන “ස්ථිර පොරොන්දුවක්” (Affirmative commitment) බවයි.

“ඔවුන්ගේ වත්මන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ වී ඇතත්, අපට අවශ්‍ය වන්නේ දීර්ඝ කාලීනව ඔවුන් තුළ එවැනි අවියක් නිපදවීමේ අභිලාෂයක් නොමැති බවට වන මූලික සහතිකයයි. ඒ ගැන සිතන්නවත් එපා කියන ස්ථාවරයයි අපට අවශ්‍ය. නමුත් එවැනි කැපවීමක් ඔවුන්ගෙන් ලැබුණේ නැහැ.”
“අපි මෙතැනින් පිටව යන්නේ ඉතා සරල යෝජනාවක් සමඟයි. එය අපගේ අවසාන සහ හොඳම ඉදිරිපත් කිරීමයි (Final and best offer). ඉරානය එය පිළිගන්නේද නැද්ද යන්න ඔවුන් සතු තීරණයක්.”
ජනාධිපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ, “අපි ගිවිසුමකට එළඹුණත් නැතත් එය මට ගැටලුවක් නොවේ; අපි දැනටමත් ජයග්‍රහණය කර අවසන්” යනුවෙනි.
ඔහු මෙම සාකච්ඡා සක්‍රීයව අධීක්ෂණය කරනවා වෙනුවට මියාමි හි UFC තරඟයකට සහභාගී වීම යන කරුණ ද මෙයට එකතු කළ විට, පෙනී යන්නේ ඔහුට මෙම ප්‍රශ්නයෙන් ඉක්මනින් ඉවත් වීමට සැබෑ වුවමනාවක් පවතින බවයි. ඔහු මෙම තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් සොයමින් සිටින අතර, නිල ගිවිසුමකට එළඹුණත් නැතත් “ඇමරිකාව යුද්ධය ජයග්‍රහණය කළා” යැයි ප්‍රකාශ කිරීම ඔහුට එම පිටවීමේ මාවත විය හැකිය.

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව ට්‍රම්ප් පසුගිය දින 10 තුළ පමණක් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථාවරයන් දෙකක් ගෙන ඇත. එක් අවස්ථාවක ඔහු පැවසුවේ එය ඇමරිකාවට කිසිදු වැදගත්කමක් නැති බවත්, එතැනින් ගමන් කරන තෙල් තමන්ට අවශ්‍ය නොවන බවත්, සන්ධියේ ආරක්ෂාව බලා ගැනීම සහ ඉරානය සමඟ ගැටුම් නිරාකරණය කර ගැනීම අනෙකුත් රටවලට භාර දෙයක් බවත්ය. එහෙත් දින කිහිපයකට පසු ඔහු පැවසුවේ එය ඇමරිකානු ඉල්ලීම්වල ප්‍රධානතම කරුණක් බවයි. සැබවින්ම ඔහුගේ ස්ථාවරය කුමක්දැයි අප දන්නේ නැත.
කෙසේ වෙතත් ඉරානය මෙම සාකච්ඡා පිළිබද දැක්වූයේ වෙනස් අදහසකි.
ඉරාන දූත පිරිසට සමීප ආරංචි මාර්ගයක් ෆාර්ස් (Fars) පුවත් ඒජන්සියට ප්‍රකාශ කර ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය සාකච්ඡා මේසයෙන් ඉවත් වීමට නිදහසට කරුණක් සොයමින් සිටි බවයි. එම ආරංචි මාර්ගය පැවසුවේ, “ඇමරිකානුවන්ට ජාත්‍යන්තර තලයේදී තමන්ට අහිමි වූ ගෞරවය නැවත ලබා ගැනීමට මෙම සාකච්ඡා අවශ්‍ය වූ අතර, ඉරානය සමඟ පැවති යුද්ධයේදී අත් වූ පරාජය සහ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද තමන්ගේ බලාපොරොත්තු (ඉල්ලීම්) පහත හෙළීමට ඔවුන් අකමැති වූ” බවයි. මීළඟ සාකච්ඡා වටයක් සම්බන්ධයෙන් ඉරානය සතුව කිසිදු සැලසුමක් නොමැති බවද එය වැඩිදුරටත් සඳහන් කළේය.
ෆාර්ස් පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසන ආකාරයට සාකච්ඡාවල අභ්‍යන්තරය පිළිබඳව අදහස් දක්වමින් එම ආරංචි මාර්ග පැවසුවේ ඇමරිකාව සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලා සිටින්නේ “යුද්ධය හරහා තමන්ට ලබාගත නොහැකි වූ සෑම දෙයක්ම” බවයි. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සහ සාමකාමී න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ “දැඩි සහ අභිලාෂකාමී කොන්දේසි” ඉරානය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගෙයි (Esmail Baghaei), ඉස්ලාමාබාද්හි පැවති ඉරාන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ කෙටි වාර්තාවක් ඉදිරිපත් කළේය. ඇමරිකාව පොරොන්දු කඩ කිරීම සහ ඔවුන් සිදුකළ වැරදි ක්‍රියා සම්බන්ධ අත්දැකීම් තමන් කිසිදා අමතක කර නැති බවත්, අනාගතයේදී ද අමතක නොකරන බවත් ඔහු පැවසීය.
“ඇමරිකාවේ පොරොන්දු කඩ කිරීම් සහ වැරදි ක්‍රියා සම්බන්ධ අත්දැකීම් අප අමතක කර නැහැ. පසුගිය පැය 24 පුරා අපි හෝමුස් සමුද්‍ර සන්ධිය, න්‍යෂ්ටික අයිතිවාසිකම්, යුද වන්දි සහ සම්බාධක ඉවත් කිරීම ගැන සාකච්ඡා කළා. ඉරාන සාකච්ඡා කණ්ඩායම රටේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සියලු ශක්තිය යොදවනවා. සාකච්ඡාවල සාර්ථකත්වය රඳා පවතින්නේ අනෙක් පාර්ශවය අසාධාරණ සහ නීති විරෝධී ඉල්ලීම් නොකර සිටියහොත් පමණයි.”
එසේම, දෙවන සහ තෙවන “තමන් මත පැටවූ යුද්ධ” (imposed wars) අතරතුර ඇමරිකාව සහ සියොන්වාදී පාලනය (ඉශ්‍රායලය) විසින් සිදු කරන ලද දරුණු අපරාධවලට තමන් කිසිසේත් සමාව නොදෙන බවද ඔහු සඳහන් කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය, න්‍යෂ්ටික ගැටලුව, යුද වන්දි ගෙවීම, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයට මෙන්ම කලාපයට එරෙහිව පවතින යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම ඇතුළු විෂයයන් ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.
ඉරානයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉරාන සාකච්ඡා කණ්ඩායම තමන් සතු සියලු ශක්තිය, අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගන්නා බව එස්මයිල් බගෙයි අවධාරණය කරයි.
ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ පැවති සංවාදයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කළේ ඉරානය සාකච්ඡාවලට පැමිණියේ “දැඩි අධිෂ්ඨානයකින් සහ බැරෑරුම් ලෙස” බවයි. “සාකච්ඡාවල සාර්ථකත්වය රඳා පවතින්නේ වොෂින්ටනයේ ආකල්පය මතයි. ඇමරිකාව මීට පෙර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් පාවා දුන් ආකාරය අපට අමතක නැහැ. අප රටේ ආරක්ෂක අයිතිය සහ මිසයිල වැඩසටහන කිසිසේත්ම සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ.”
ඉරාන ප්‍රකාශක එස්මයිල් බගෙයි අවසන් වශයෙන් පැවසූ පරිදි, “මෙම රාජ්‍යතාන්ත්‍රික මාවතේ ඉදිරි ගමන තීරණය වන්නේ, අනෙක් පාර්ශවය ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට ගරු කරමින්, තම අධික ඉල්ලීම් අත්හැරීමට දක්වන සූදානම මත පමණි.”
2026 අප්‍රේල් 11 වන සෙනසුරාදා අලුයම ඉරාන දූත පිරිස මෙම සාකච්ඡා වෙනුවෙන් ඉස්ලාමාබාද් වෙත ළඟා වූයේ විශේෂිත ගුවන් යානයකිනි. එම ගුවන් යානය ‘මිනාබ් 168’ (Minab 168) ලෙස නම් කර තිබුණේ යුද්ධයේ අමිහිරිම මතකයක් ලෝකයට සිහිපත් කරමිනි.

යුද්ධයේ මුල් අවධියේදී දකුණු ඉරානයේ මිනාබ් (Minab) නගරයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් දරුවන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් ඇතුළු දූත පිරිස රැගත් ගුවන් යානයේ ඉදිරිපෙළ අසුන් වෙන් කර තිබුණේ මියගිය එම දරුවන් වෙනුවෙනි. එහි දරුවන්ගේ ඡායාරූප, ලේ තැවරුණු පාසල් බෑග්, පොත්පත් සහ සුදු මල් තැන්පත් කර තිබූ අතර, ඉරානය එමගින් ලෝකයට පෙන්වා දුන්නේ යුද්ධයක සැබෑ පිරිවැය ගෙවන්නේ අහිංසක දරුවන් බවයි.
අල් ජසීරා නාලිකාව උපුටා දක්වන වාර්තා අනුව මිනාබ් පාසලේ දරුවන් 168 ඇතුළුව ඉරානය පුරා පුද්ගලයින් 3,600කට අධික පිරිසක් මියගොස් ඇත. ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් 1,800කට අධික පිරිසක් මියගොස් ඇති අතර බීරූට් නගරය දැඩි විනාශයකට පත්ව ඇත.
ඉරානයේ සහ ලෙබනනයේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර ඇමරිකාවට ඩොලර් බිලියන ගණනක යුද පිරිවැයක් දැරීමට සිදුවී ඇත.
