රනිල්ට ශල්‍යකර්මයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මයකට භාජනය වූ බවත්, එය ඉතා සාර්ථකව නිමවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පසුගිය කාලසීමාව පුරා දේශපාලන කරළියේ විවිධ කතාබහක් නිර්මාණය වූ අතර, පසුගිය වසරේ අවසාන භාගයේ සිට මේ වසර මුල දක්වාම ඔහු කිහිප වතාවක්ම මෙරට සහ විදේශීය රෝහල්වලදී සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වූ බව වාර්තා විය.

විශේෂයෙන්ම අධික කාර්යබහුලත්වය හේතුවෙන් ඇති වූ විඩාව සමනය කරගැනීමට වෛද්‍යවරුන් ඔහුට විවේකය නිර්දේශ කර තිබූ බව වාර්තා වූ අතර, ඔහු කලක සිට දණහිස් ආබාධයක් සඳහා ද ප්‍රතිකාර ලබාගෙන ඇත.

මෑතකදී සිදුකළ මෙම ශල්‍යකර්මය කුමන කරුණක් මත පදනම් වූවක්ද යන්න පිළිබඳව නිල වශයෙන් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් වී නොමැති වුවද, එය සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලයක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන හිටපු ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විශ්වාසය පළ කර සිටී.

රනිල් වික්‍රමසිංහ 2025 අගෝස්තු 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ 2023 වසරේදී ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මතය. පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ ඔහු අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇති වූ බව කියන සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ඔහු මුලින්ම මැගසින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව වාර්තා විය.

හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සමයේ ඔහුගේ නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ඔහු දැඩි අවදානම් සහිත සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි. විශේෂයෙන්ම ඔහුගේ හෘදයේ ප්‍රධාන ධමනි හතරෙන් තුනක අවහිරතා පවතින බවත්, ඉන් එක් ධමනියක් 100%ක්ම අවහිර වී ඇති බවත් එහිදී අනාවරණය විය. මෙම අවහිරතා පවතින සංකීර්ණ තත්ත්වය හේතුවෙන් ශල්‍යකර්මයක් සිදු කිරීම පවා අතිශය අවදානම් සහගත බව වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් නීතිඥයන් ප්‍රකාශ කළහ.

හෘද රෝගී තත්ත්වයට අමතරව, ඔහු නිදාගන්නා අතරතුර ශ්වසනය නතර වීමේ අවදානමක් පවතින බැවින් නිරන්තරයෙන් විශේෂිත CPAP ශ්වසන යන්ත්‍රයක් භාවිත කළ යුතු බව ද අධිකරණයට දන්වා සිටියේය. තවද ඔහු දියවැඩියාව, වකුගඩු රෝගය, අධික රුධිර පීඩනය සහ ශරීරයේ සෝඩියම් මට්ටම අඩුවීම වැනි බහුවිධ සංකූලතා රැසකින් පෙළෙන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු කර තිබුණි. මෙම සුවිශේෂී සහ අවදානම් සහගත වෛද්‍ය කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ අධිකරණය, 2025 අගෝස්තු 26 වන දින ඔහුට ඇප ලබා දීමට තීරණය කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading