ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම අරමුණු කරගනිමින්, නෝර්වේ කොන්සලර් ස්ටර්ල් හරල්ඩ් පීඩර්සන් මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත් භාවිත කරමින් බලශක්තිය නිපදවිය හැකි නව මානයන් කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී තිබේ.
නෝර්වේ රාජ්‍යය යනු ජල විදුලිය සහ සාගර ආශ්‍රිත බලශක්ති උත්පාදනය පිළිබඳ ලොව ඉහළම අත්දැකීම් සහිත රටක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව සතු සුළං, සූර්ය රශ්මිය සහ සාගරයේ උදම් රළ වැනි ස්වභාවික සම්පත් උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා උපදේශන සහය ලබාදීමට නෝර්වේ රාජ්‍යය සූදානම් බව මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිතව ඉවතලන විශාල අපද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රයෝජනයට ගනිමින් ජෛව වායුව (Biogas) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ සුවිශේෂී අවධානයක් යොමු වී ඇත.
මෙම වැඩපිළිවෙළ හරහා පරිසරයට මුදාහැරෙන කෘෂි අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කිරීමට තිරසාර විසඳුමක් ලැබෙන අතරම, එමඟින් ජනනය වන බලශක්තිය ග්‍රාමීය මට්ටමින් පවතින බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සෘජුවම දායක කරගත හැකිය.
එසේම, මෙමඟින් ගොවීන්ගේ වගා කටයුතු සඳහා වැයවන පිරිවැය අවම කරගැනීමට අවස්ථාව සැලසෙන බැවින්, මෙය මෙරට කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන සහ පරිසර හිතකාමී නවෝත්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය.
අනාගත බලශක්ති ලෝකයේ වඩාත්ම තීරණාත්මක හැරවුම්ලක්ෂ්‍යයක් ලෙස හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය හඳුනාගත හැකිය. මෙහිදී සිදුවන්නේ දිවා කාලයේදී සූර්ය පැනල මඟින් ජනනය වන අතිරික්ත විදුලිය උපයෝගී කරගෙන ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමයි.
මෙහිදී හයිඩ්‍රජන් වායුව ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු, පරිසර හිතකාමී ඉන්ධනයක් ලෙස ගබඩා කළ හැකි අතර, පසුව එය ප්‍රවාහන හා මහා පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට භාවිත කළ හැකිය. කාබන් විමෝචනයෙන් තොර මෙම තාක්ෂණය, තිරසාර බලශක්ති අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ඉතා වැදගත් වේ.
මෙම යෝජනා හුදු සාකච්ඡාවකට පමණක් සීමා නොවී, නෝර්වේ කොන්සලර්වරයා විසින් විධිමත් ව්‍යාපෘති වාර්තාවක් ද අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාර දී තිබේ. මෙය ක්‍රියාවට නැංවීම තුළින් ශ්‍රී ලංකාවට ආනයනික ඉන්ධන මත ඇති යැපීම අවම කරගැනීමටත්, හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමටත් විශාල ශක්තියක් ලැබෙනු ඇති බව පැවසේ.
