අග්‍රාමාත්‍යවරියගේ තංගල්ල හමුවට නොගිය ගුරුවරුන්ගෙන් කරුණු විමසයි…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 15 වනදා තංගල්ල නගර සභා ශාලාවේදී පැවති විශේෂ ගුරු හමුවට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කල්‍යාණි මහත්මිය විසින් කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව වාර්තා වන අතර, අදාළ රැස්වීමට සහභාගී නොවීමට හේතු මාර්තු මස 26 වනදාට ප්‍රථම ලිඛිතව ඉදිරිපත් කළ යුතු බවද එම ලිපියේ සඳහන් බව පැවසේ.

පසුගිය මාර්තු 15 වනදා තංගල්ල නගර සභා ශාලාවේදී පැවති මෙම විශේෂ හමුව සංවිධානය කර තිබුණේ හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ අරමුණිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළේ 2027 වසරේ සිට 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බවයි. මෙම නව පද්ධතිය සාර්ථක කර ගැනීම සඳහා ගුරුවරුන්ගේ සක්‍රීය සහ කැපවීම් සහිත දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

එමෙන්ම පාසල් පද්ධතිය තුළ පවතින මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය විශේෂ අවධානයක් යොමු කළාය. විශේෂයෙන්ම විවිධ පාසල් උත්සව සංවිධානය කිරීමේදී දෙමාපියන් මත දැඩි මූල්‍යමය බරක් පැටවීම වැළැක්වීමට කටයුතු කරන ලෙස ඇය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන්නාය. 2026 වසර සඳහා රජය විසින් වෙන් කර ඇති ප්‍රතිපාදන ඉතා විනිවිදභාවයකින් යුතුව පාසල්වල භෞතික හා අධ්‍යාපනික සංවර්ධනය වෙනුවෙන් පමණක් යොදා ගත යුතු බවටද ඇය මෙහිදී අවධාරණය කර සිටියාය.

රටේ පවතින දැඩි ගුරු හිඟය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, දැනට පවතින 42,000ක පමණ පුරප්පාඩු පියවීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කළාය. එම ක්‍රියාවලිය සිදුවන අතරතුර, දැනට ලබා දෙන පත්වීම් හෝ ස්ථාන මාරුවීම් කිසිදු හේතුවක් මත ප්‍රතික්ෂේප නොකර, අදාළ සේවා ස්ථානවල රාජකාරි ආරම්භ කරන ලෙස ඇය ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළාය.

මෙවැනි තීරණාත්මක කරුණු සාකච්ඡා වූ හමුවකට සහභාගී නොවූ පිරිස පිළිබඳව වාර්තාවක් කැඳවීමට කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇත්තේ මෙම පසුබිම මතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading