හෝමූස් හරහා පාකිස්තානයට යාමට ගිය නැවක් හරවා යවයි…

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පකිස්ථානය බලා යාත්‍රා කරමින් තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බහාලුම් නෞකාවක්, අවශ්‍ය සංක්‍රමණ අවසර පත්‍ර නොමැතිව ඉරාන මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ආපසු හරවා යවා තිබේ.

‘සෙලන්’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා වරායේ සිට පකිස්ථානයේ කරච්චි වරාය දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස හරවා යවා ඇත.

නෞකාව ආපසු හරවා යැවීමේ තීරණය සම්බන්ධයෙන් ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි ප්‍රකාශ කර සිටියේ, අදාළ නෞකාව ඉරාන මුහුදු සීමාව භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු ජාත්‍යන්තර සහ දේශීය නීති පද්ධතීන් උල්ලංඝනය කර ඇති බවයි.

ඔහු අවධාරණය කළ කරුණු අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම යාත්‍රාවක් ඉරාන සමුද්‍රීය අධිකාරිය සමඟ පූර්ව සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම අනිවාර්ය වේ.

ඉරාන බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව කිසිදු යාත්‍රාවකට මෙම ජල තීරය තරණය කිරීමට අවස්ථාව හිමි නොවන අතර, විශේෂයෙන්ම ඉරානයට හිතවාදී නොවන හෝ සතුරු පාර්ශව සමඟ සබඳතා පවත්වන යාත්‍රාවලට සිය ජල තීරය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන බව ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

“නීතිමය ප්‍රොටෝකෝලවලට අනුකූල නොවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැතිකම හේතුවෙන් ‘සෙලන්’ (SELEN) බහාලුම් නෞකාව IRGC නාවික හමුදාව විසින් ආපසු හරවා යවන ලදී. මෙම ජල මාර්ගය හරහා ඕනෑම යාත්‍රාවක් ගමන් කිරීම සඳහා ඉරානයේ සමුද්‍රීය අධිකාරිය සමඟ පූර්ණ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන අතර, ගෞරවනීය ඉරාන ජනතාවගේ සහයෝගය නොමැතිව මෙම ජයග්‍රහණය අත්කර ගත නොහැකි වනු ඇත.”

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading