කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටිය දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව, මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්ත ප්‍රදේශය වෙත රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
2020 ඔක්තෝබර් 20 වන දින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් ලබාදුන් තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඔහුව මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අතර, එම අවස්ථාවේ දී යි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් මධූෂ් ඝාතනය වනු ලැබුවේ.
කෙසේ නමුත්, අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් වන විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරනු ලැබුවා.
ඉන් අනතුරුව, ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හා මාධ්‍ය ආයතනවලින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන දර්ශන ලබාගැනීමට නියෝගයක් ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
