පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය හුදෙක් මග පෙන්වීමකින් තොරව ආගමික අන්තවාදය නිසා සිදු වූවක් නොව, එය යම් දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සූක්ෂ්ම ලෙස මෙහෙයවන ලද මෙහෙයුමක් බව සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් තහවුරු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) මහලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.
පෙබරවාරි 26 සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, මෙතෙක් කල් “ප්‍රසිද්ධ රහසක්” ලෙස පැවති මෙම දේශපාලන කුමන්ත්‍රණය සුරේෂ් සලේගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇති බවයි.
දේශපාලන අරමුණු සඳහා අන්තවාදය භාවිත කිරීම
ආගමික අන්ධභක්තිය සදාචාර විරෝධී සහ පිළිගත නොහැකි දේශපාලන අරමුණු සඳහා මෙවලමක් ලෙස භාවිත කර ඇති බවත්, මෙම මෙහෙයුමේ සැබෑ ස්වරූපය දැන් ක්‍රමයෙන් අනාවරණය වෙමින් පවතින බවත් නිසාම් කාරියප්පර් මහතා සිය පණිවිඩය මගින් අවධාරණය කරයි.
මෙම දේශපාලන ක්‍රියාවලියෙන් වාසි ලැබූ පාර්ශවයන් මේ වන විට කලබලයට පත්ව සිටීම සහ ඒ පිළිබඳව සිය කනස්සල්ල පළ කිරීම ස්වාභාවික තත්ත්වයක් බව ද ඔහු පවසයි. 2025 ජූලි මාසයේදී තමන් කළ ප්‍රකාශයක් යළි මතක් කරමින් කාරියප්පර් මහතා විමසා සිටින්නේ, මේ සියල්ල පිටුපස සිටින “ලොකු බොස්” (Big Boss) හෙවත් සැබෑ මහ මොළකරු දැන්වත් හෙළිදරව් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.
”සෑම තීරණයක් පිටුපසම සැඟවුණු හස්තයක් පවතිනවා. මුළු රටම දැනගත යුතු ප්‍රශ්නය මම කලින් ඇසුවා – මේ සියල්ල පිටුපස සිටින ‘ලොකු බොස්’ කවුද?” යනුවෙන් ඔහු සිය සටහන අවසන් කර ඇත.
