වැඩ තහනමට ලක්ව සිටින සෞඛ්‍ය සේවකයෙකුට සිය තනතුර යළි ලබාදීම සඳහා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ජාතික රෝහලේ නිලධාරීන් දෙදෙනෙකු ලබන මාර්තු 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (24) නියෝග කර ඇත.
කොළඹ ජාතික රෝහලේ වැඩ බලන සුළු සේවා පාලක ලෙස කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ රංජිත් සුමේධ සහ එම අංශයේම සෞඛ්‍ය කාර්ය සහායකයෙකු ලෙස සේවය කළ මලින්ද බන්දුජීව යන නිලධාරීන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අජිත් සුරංග කළුආරච්චි නමැති වැඩ තහනමට ලක්ව සිටින පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, පැමිණිලිකරුගේ වැඩ තහනම ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මාර්ගයෙන් පත්වීම යළි සකස් කර දීම සඳහා සැකකරුවන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවයි.
මින් පෙර රුපියල් 50,000ක මුදලක් චෙක්පතක් මගින් ලබාගෙන තිබූ මොවුන්, ඉතිරි රුපියල් 50,000ක මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ. අද දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.
