දීර්ඝ කාලයක් තිස්සේ දැඩි කතාබහට ලක්ව තිබූ සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ අ නාවට තුඩු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
මෙම පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පවත්වනු ලැබූ අතර, එහිදී පනතට පක්ෂව ඡන්ද 154ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 02ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 152කින් මෙම පනත් කෙටුම්පත සම්මත වූ අතර, මෙතැන් සිට මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය අහෝසි වනු ඇත.
අද පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වූ බව වාර්තා වේ. මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පනත අභියෝගයට ලක් කරමින් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබුණද, පනත ව්‍යවස්ථානුකූල බවත් එය සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.
මෙම පනත සම්මත වීමත් සමඟ 1977 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය මෙලෙස නිල වශයෙන් අවසන් වේ.
1977 වසරේ සිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. 1977 අංක 1 දරන මන්ත්‍රීවරයන්ගේ පාරිශ්‍රමික පනත මගින් ස්ථාපිත වූ මෙම ක්‍රමය යටතේ, යම් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කළහොත් ඔහු හෝ ඇය විශ්‍රාම වැටුපක් ලැබීමට සුදුසුකම් ලබයි. මෙය සාමාන්‍ය රජයේ සේවකයෙකුට විශ්‍රාම වැටුප් ලැබීමට අවශ්‍ය වන දීර්ඝ සේවා කාලය හා සසඳන විට ඉතා කෙටි කාලසීමාවකි.
