අකුරේගොඩ ඝාතනයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ ! ඝාතනය සිද්ධ වුණේ අධි ආරක්ෂක කලාපයක නෙවෙයි !! – මහජන ආරක්ෂක ඇමති කියයි.

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට දී එල්ල වුණු වෙඩි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ, නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සිදු වූ එම ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බවත්, මෙම සිදුවීම හුදෙකලා සිදුවීමක් වන බවත්, ඉන් ජාතික ආරක්ෂාවට කිසිඳු බලපෑමක් ඇති නොවන බවත්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

රටේ මහජනතාවට ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවත්, පසුගිය දින 45 ඇතුළත වෙඩිතැබීම් හේතුවෙන් දොළොස්දෙනෙකු මියගොස් ඇති බවත්, ඒ සියල්ල හුදෙකලා සිද්ධි බවත්, භීෂණයක් හෝ රැල්ලක් දැකගත නොහැකි බවත් එහි දී අමාත්‍යවරයා කරුණු දක්වමින් වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ නමුත්, මෙම සිද්ධීන් එකිනෙකට සම්බන්ධයක් සහිත සිද්ධීන් ද ? ඒ සඳහා යම් දේශපාලන සබඳතාවක් තිබේ ද ? යන්න පිළිබඳව විමර්ශන ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා එහි දී අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ.  

අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, මෙම සිදුවීම හේතුකොට ගනිමින් ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බවද පවසා සිටියා.

මේ වන විට ක්‍රියාත්මක වන විමර්ශන අවසන් වූ වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ද සඳහන් කරමින් අමාත්‍යවරයා මෙම ඝාතනය කිසිවිටෙකත් නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකිය යුතු කාරණයක් නොවන බව දක්වා සිටිනු ලැබුවා.

අවසාන වශයෙන්, ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පලකරන බව ද සඳහන් කළ අමාත්‍ය ආනන්ද විජේපාල තමා ඇතුළු රජය මෙරට ජීවත් වන කිසිවෙකුගේ ජීවිත අවතක්සේරු නොකරන බවත්, කිසිවෙකු වෙනත් කිසිවෙකු අතින් මියයෑම අනුමත නොකරන බවත් සඳහන් කරමින්, සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා රජයක් ලෙස තමන් කැපවෙන බව ද අවධාරණය කරනු ලැබූ අතර, ඒ සඳහා රජය බලයට පත්වූ දා තීන්දු තීරණ රාශියක් ගෙන ඇති බවද පැහැදිලි කර සිටියා.

මෙහි දී සමාජයේ තවමත් විශාල අවි ආයුධ ප්‍රමාණයක් සැරිසරන බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, පහුගිය කාලයේ දේශපාලනඥයින් වෙත ලබා දුන් අවි ආයුධ තවමත් භාර දී නොමැති බවත්, හමුදා කඳවුරුවලින් පාතාලය වෙත ලබා දුන් අවි ආයුධ පිළිබඳව ද විමර්ශන සිදුවෙන පරිසරයක් තුළ මෙවැනි ඝාතන සිදුවන බවත්, සඳහන් කරමින් එම ඝාතන සංස්කෘතිය හෙළා දකිමින් නැවත නැවතත් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බව ද දක්වා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading