ශ්‍රම වාසනා අරමුදල ඈවරයි !

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අරමුදල කම්කරු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන ආ අතර, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාව මඟින් රජයේ මැදිහත් වීම ඉවත් කළ යුතු හා ඈවර කළ යුතු ආයතන යටතේ මෙම ශ්‍රම වාසනා අරමුදල හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව දැනට එහි සේවාවන්ගෙන් ප්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ට අගතියක් නොවන පරිදි මෙම අරමුදල ඈවර කිරීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇති අතර, එකී අරමුදල මඟින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතරින් තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් හඳුනා ගනිමින් එම කාර්යයන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් අදහස් ලබාගෙන ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරීම සඳහා ද පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ නමුත්, 1971 අංක 38 දරන මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026 ජුනි මස 30 දින වන විට ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා පියවර ගැනීමටත්, දැනට ශ්‍රම වාසනා අරමුදල මඟින් සපයනු ලබන හා වෙනත් ආයතනයක් මඟින් ආවරණය නොකෙරෙන තවදුරටත්
පවත්වාගෙන යා යුතු සේවාවන් කම්කරු අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යාමටත් මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    Author

    Related Posts

    Discover more from

    Subscribe now to keep reading and get access to the full archive.

    Continue reading