දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්… පක්ෂයේ මහලේකම් ධූරය නෑ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉවත් කිරීමට එම පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දයාසිරි ජයසේකර විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. මෙම නියෝගයත් සමඟ ඔහුට සිය පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් පනවා තිබූ බාධාවන් ඉවත් වන නමුත්, පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීමට අවසර ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ දයාසිරි ජයසේකර සඳහන් කළේ, තමාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව තමා ලැබූ ජයග්‍රහණය වැදගත් වන බවයි. කෙසේ වෙතත්, ලේකම් ධුරයේ රාජකාරි කිරීමට එරෙහිව පවතින බාධාවන් ඉවත් නොවූ බැවින් ඒ පිළිබඳ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

2023 සැප්තැම්බර් මාසයේදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඔහුව මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මත පදනම්ව මෙම විනය පියවර ගත් බව පක්ෂ නායකත්වය එවකට ප්‍රකාශ කළේය. මෙයට එරෙහිව ජයසේකර අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ අතර, තමා නිසි ක්‍රියාපටිපාටියකින් තොරව ඉවත් කර ඇති බව ඔහු දිගින් දිගටම තර්ක කළේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading