මොකක්ද මේ විදුලි ගාස්තු සංශෝධනය? විදුලි ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට ලංවිම ඉල්ලයි…

2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගාස්තු 13.56%කින් ඉහළ නැංවීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ වත්මන් විදුලි උත්පාදන පිරිවැය සහ මණ්ඩලය ලබන ආදායම අතර පවතින පරතරය පියවා ගැනීම සඳහා මෙම 13.56% ක ගාස්තු වැඩිවීම අත්‍යවශ්‍ය බවයි. විශේෂයෙන්ම වසරේ ඇතැම් කාලසීමාවන්හිදී ජල විදුලි උත්පාදනය අඩුවීම හේතුවෙන්, ඒ වෙනුවට තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර ඒ සඳහා වැයවන අධික පිරිවැය මණ්ඩලයට දැරීමට සිදුව ඇත. මීට අමතරව, සමස්ත විදුලි පද්ධතියේ නඩත්තු කටයුතු සහ දෛනික මෙහෙයුම් වියදම් ඉහළ යාම ද මෙම ගාස්තු සංශෝධනය ඉල්ලා සිටීමට ප්‍රධාන හේතු ලෙස මණ්ඩලය සඳහන් කරයි.

2026 වසරේ පළමු කාර්තුව සඳහා ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් 11.57% ක ගාස්තු ඉහළ නැංවීමක් මීට පෙර යෝජනා කර තිබුණ ද එම යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවීය. මණ්ඩලය විසින් නියමිත කාලරාමුව තුළ විධිමත් දත්ත වාර්තා ඉදිරිපත් නොකිරීම සහ පිරිවැය ගණනය කිරීමේදී පැවති විවිධ තාක්ෂණික පරස්පරතා හේතුවෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කොමිසම පියවර ගෙන තිබුණි. මෙම පසුබිම මත දෙවන කාර්තුව සඳහා වන නව යෝජනාව කෙරෙහි මේ වන විට දැඩි අවධානයක් යොමුව ඇත.

වෘත්තීය සමිති විරෝධය

මෙම ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සමිති සිය දැඩි විරෝධය පළ කරමින් සිටී. ඔවුන් චෝදනා කරන්නේ මීට පෙර ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාවන් හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලැබූ අතිවිශාල මූල්‍ය පාඩුව, මෙම 13.56% ක ගාස්තු වැඩිවීම හරහා සාමාන්‍ය පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි. මෙවැනි අකාර්යක්ෂමතා සහ දූෂිත ගනුදෙනු නිසි ලෙස කළමනාකරණය කළේ නම්, ජනතාව මත මෙවැනි බරක් පටවමින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෘත්තීය සමිති නියෝජිතයින්ගේ මතයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කරන්නේ, විදුලි බිල තීරණය කිරීමේදී පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද, රජය සැමවිටම සංවේදී අංශ කෙරෙහි අවධානය යොමු කරන බවයි.

විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 40ක් පමණ වුවද, ආගමික ස්ථාන වැනි විශේෂිත අංශ සඳහා තවමත් ලබා දෙන්නේ ඊට බෙහෙවින් අඩු සහනදායී මිලකට බව ඔහු පෙන්වා දුන්නේය. පිරිවැය සහ සහන සමතුලිත කරමින්, ඉදිරි වසර තුන ඇතුළත සමස්ත විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව ද ඔහු අවධාරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මෙම නව යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විට සිය විමර්ශන ආරම්භ කර ඇත. එහිදී මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නිරවද්‍යතාවය සහ සාධාරණත්වය පිළිබඳව පුළුල් ලෙස නිරීක්ෂණය කෙරෙනු ඇත.

ඉන් අනතුරුව, යෝජිත 13.56% ක වැඩිවීම සම්බන්ධයෙන් මහජනතාවගේ සහ උනන්දුවක් දක්වන පාර්ශවවල අදහස් විමසීමට නියමිතය. මෙම සමස්ත ක්‍රියාවලියෙන් පසුව, අප්‍රේල් මස මුලදී නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading