ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීට පැනවූ මරණීය දණ්ඩනය ඉවත් කිරීමේ තීන්දුවට එරෙහි අභියාචනය…

මිනීමැරීමේ චෝදනාවලට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීව නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ලබා දී තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීම සැප්තැම්බර් 04 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

මෙම අභියාචනය ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය සිකුරාදා (13) කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීම සලකා බැලූ අධිකරණය මෙම කල් තැබීම සිදු කර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ප්‍රේමලාල් ජයසේකර වරදකරු විය. ඒ අනුව රත්නපුර මහාධිකරණය විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන ලද නමුත්, එම දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් 2022 වසරේදී ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බැවින් එය බල රහිත කර, ඔහුට නියම වූ දඬුවම යළි බලාත්මක කරන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වූවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අභියාචනාධිකරණයේ නිදහස් කිරීමේ තීන්දුව නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට අදාළ විභාගය 2026 සැප්තැම්බර් 04 වනදා යළි ආරම්භ වීමට නියමිතය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමක් සඳහා වේදිකාවක් සරසමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරය හේතුවෙන් ශාන්ත දොඩංගොඩ නැමති පුද්ගලයා මියගිය අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ. මෙම මිනීමැරීමේ සිද්ධියට අදාළව වසර පහකට අධික කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි 31 වනදා ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු වරදකරුවන් කරමින් ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කළේය. කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකු බවට පත්ව සිටියදීම, 2020 මහා මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රේමලාල් ජයසේකර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ අනුව, මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකුට මන්ත්‍රී ධුරයක දිවුරුම් දිය හැකිද යන්න පිළිබඳව නෛතික ගැටලුවක් මතු වූ අතර, පසුව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගයක් මත 2020 සැප්තැම්බර් 08 වනදා ඔහු සිරගෙදර සිට පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකු මන්ත්‍රී ධුරයක දිවුරුම් දුන් පළමු අවස්ථාව ලෙස වාර්තා විය.

වෙඩි පහරින් මිය ගිය ශාන්ත දොඩංගොඩ මහතාගේ බිරිඳ වන පුෂ්පා පුෂ්පා දොඩංගොඩ සඳහන් කළ පරිදි, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සැමියාගේ අවමංගල්‍යයට සහභාගී වුවද, ඉන් අනතුරුව ඔහු හෝ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන් සිය පවුල පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකළ බව ඇය පවසා සිටියා. කෙසේ වෙතත්, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් කැඳවා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව ඇය සිහිපත් කරන අතර, සැමියාගේ මරණයෙන් පසු ගමේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ විවිධ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වූ බවත්, එක් අවස්ථාවකදී ඔවුන් සිය පුතුට පවා පහර දුන් බවත් එවකට ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading