ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙබරවාරි 16 වැනිදා දීප ව්‍යාප්තව අධිකරණවල රාජකාරීවලින් ඉවත් වීමට වීමට තීන්දු කර ඇත.
එයට පාදක වී තිබෙන්නේ නීතිඥවරයෙකු අකුරගොඩදී ඝාතනය කිරීමේ සිදුවීමය.
එහිදී නීතිඥවරුන් තම තමන්ගේ අධිකරණ ශාලාවලට ගොස්, රාජකාරීවලින් ඉවත් වන බව විනිසුරුවරුන්ට දැනුම් දෙනු ඇත. එයින් පසු අධිකරණවල කටයුතු නතර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇතැම් අධිකරණවල නීතිඥවරුන් විසින් විරෝධතා පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු සාමාජිකයන්ට ආරාධනා කොට පැවැත්වූ විශේෂ රැස්වීමේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, නීතිඥ නුවන් බෝපගේ, ගුණරත්න වන්නිනායක, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ඇතුළු පිරිස් අදහස් දැක්වීය.
උපරිම ක්‍රියාමාර්ගවලට යා යුතු බවත්, සමාජයට පණිවිඩයක් ලබා දිය යුතු බවත්, අධිකරණ කටයුතුවලින් ඉවතත් විය යුතු බවත් එහිදී නීතිඥ නුවන් බෝපගේ දැඩිව ප්‍රකාශ කර තිබේ. අධිකරණ පද්ධතියටත් මෙම පණිවිඩය යා යුතු බවත්, නීතිඥවරුන් නොමැතිව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය ඉදිරියට යන පසුබිමක මේ පිලිබද සංවාදයක් ඇති විය යුතු බවත් නීතිඥ නුවන් බෝපගේ එහිදී පෙන්වා දී තිබේ.
මෙම සිදුවීම සිදු වී පැය භාගයක් අතරතුර පොලීසිය නීතිඥවරුන් පෙනී සිටි ආකාරය සහ ඔවුන්ගේ සේවාදායකයන් පිළිබද තොරතුරු පැය භාගයක් ඇතුළත දැනගත්තේ කෙලෙසද යන්න ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය ප්‍රශ්න කර තිබේ.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දී ඇත්තේ අකුරෙගොඩ සිදුවීම පිළිබද පමණක් නොව සමස්ත ඝාතන සංස්කෘතිය පිළිබද අවධානය යොමු වන ආකාරයට ක්‍රියාමාර්ග ගත යුතු බවය.
ඒ අනුව ඒකමතිකව සභා සම්මත වූ යෝජනා හතර නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මෙසේ මාධ්‍ය වෙත කියා තිබුණි.
1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.
2. දීප ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.
3. මෙම කෘෘර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.
4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.ෙ
මීට අමතරව මාධ්‍යවලට මෙම සිදුවීම පිළිබද වාර්තා කිරීමේදී සැලකිලිමත් විය යුතු බවටද අදහස් පළ කර තිබේ.
පැවති විශේෂ මහා සභා රැස්වීම නිල වශයෙන් අවසාන නොවූ අතර එය පෙබරවාරි 21 වැනි සෙනසුරාදාට කල් දැමීය. අටසීයක පමණ නීතිඥවරුන් පිරිසක් ශාලාව තුළ රැස් වී තිබුණි. එහෙත් නීතිඥවරුන් විශාල පිරිසකට ශාලාවට ඇතුළු වීමට පවා නොහැකි වී තිබුණි. ඇතැම් මූලාශ්‍ර සදහන් කරන්නේ නීතිඥවරුන් 3500ක් පමණ පැමිණ ඇති බවයි.
