හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 09ක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා.
ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණු මෙම නඩුකරයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සමක අඩංගු කරුණු සැලකිල්ලට ගෙන ඒ සඳහා පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟත්වය හිමිවීමෙන් අනතුරුවයි.
පසුගිය රජය සමයේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය දෝෂ සහිත බව පවසමින් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා.
එම පෙත්සම් සලකා බැලූ අධිකරණය, පසුගිය වසරේ ජූලි මාසයේදී දේශබන්දු තෙන්නකෝන් සඳහා පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
කෙසේ නමුත්, රනිල් වික්‍රමසිංහ පාලන තන්ත්‍රය වෙනස් වීමෙන් පසු, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නඩුකරයට අදාළව අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින්, පවතින නීතිමය වාතාවරණය සහ රජයේ ස්ථාවරය පැහැදිලි කර තිබූ අතර, එහි අන්තර්ගත කරුණු පදනම් කරගෙන නඩු විභාගය ඉදිරියට ගෙනයාම අවශ්‍ය නොවන බවයි පෙත්සම්කාර පාර්ශ්වය පිළිගනු ලැබුවේ.
