හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මාර්තු මස 06 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (12) තීරණය කර තිබේ.
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ මෙම නඩුව ගොනුකර තිබේ. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, සතොස ආයතනයේ සේවකයින් 150කට අධික පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතු සඳහා යෙදවූ බවට චෝදනා එල්ල වී ඇත.
මෙලෙස සේවකයින් දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 40කට අධික පාඩුවක් සිදු කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති. වෙනත් නඩුවකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම මාර්තු මස 06 වනදා සිදු කිරීමට විනිසුරුවරයා නියම කර තිබේ.
