රාජගිරිය රිය අනතුර – චම්පිකට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය යළි අරඹයි…

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ ආන්දෝලනාත්මක රිය අනතුරට අදාළව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩු විභාගය අද (12) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සහ සාක්ෂි විභාගයෙන් අනතුරුව, වැඩිදුර විභාගය එළඹෙන මැයි මස 05 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ අද දින නඩු විභාගය ආරම්භ වූ අතර මෙහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින මනුල් නිම්සුක අබේසුන්දර නැමැත්තාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ ආන්දෝලනාත්මක රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

යතුරුපැදියක් සහ ජීප් රථයක් ගැටීමෙන් තරුණයෙකුට බරපතළ තුවාල සිදු කළ මෙම අනතුරේදී, අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම, සාක්ෂි වසන් කිරීම සහ සැබෑ රියදුරු වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කර අධිකරණය නොමඟ හැරීමට කුමන්ත්‍රණය කිරීම යන බරපතළ චෝදනා විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ දෙසැම්බර් මාසයේදී පාඨලී චම්පික රණවක කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහු ඇප මත මුදා හැරුණි.

චම්පික රණවකට එරෙහිව රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක්ද විභාග වූ අතර, ඉහත සඳහන් මහාධිකරණ නඩුව ගොනු කර ඇත්තේ කුමන්ත්‍රණය කිරීම සහ සාක්ෂි වසන් කිරීම වැනි කාරණා මුල් කරගනිමිනි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading