රැවටෙන්න කලින් හොයල බලන්න… විදේශ රැකියා සිහිනය පෙන්වා ලක්ෂ ගණන් වංචා කළ පුද්ගලයෙක් Passport 154ක් සමග අත්අඩංගුවට…

වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි රුමේනියා සහ මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා සදහා පුද්ගලයන් බදවාගත් කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයකට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක AHM International Services නමින් පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිය වැටලීම් කරන ලද බව SLBFE මාධ්‍ය පවසයි.

එහිදී මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබූ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154ක්, රැකියා ගිවිසුම්, වෛද්‍ය වාර්තා හා වෛද්‍ය වාර්තා ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍ර, විවිධ පුද්ගල ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව 2016 වසරේදී වලංගු බලපත්‍රයක් සහිතව රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, ඇයට එරෙහිව ලැබුණු පැමිණිලි මත එවකටත් නඩු 11ක් පවරා තිබූ අතර, ඒ හේතුවෙන් ඇයගේ බලපත්‍රය අත්හිටුවා තිබුණි. මීට අමතරව, මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් ඇයට විරුද්ධව විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබූ පසුබිමක ඇය හොර රහසේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.

ඉහත සැකකාර කාන්තාව 2026/02/04 දින කොළඹ අලුත් කඩේ අංක 5 දරන මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (11) දින වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

බොහෝ පිරිස් තමන්ගේ සහ පවුලේ අනාගතය ගොඩනගා ගැනීමට දරන උත්සාහයේදී, සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම නිසා මිනිස් වෙළඳාම්කරුවන්ට (Human Traffickers) හසු වෙති.

නීත්‍යානුකූල නොවන අතරමැදියන් සහ වංචනික ඒජන්සිවලින් බේරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට අවධාරණය කරන කරුණු කිහිපයක් තිබේ. තමන් මුදල් ලබාදෙන ආයතනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කල් ඉකුත් නොවූ, වලංගු බලපත්‍රයක් තිබේදැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු අතර ඕනෑම රැකියාවකට විදේශ ගත වීමට පෙර කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් අදාළ ආයතනයේ විශ්වාසනීයත්වය තහවුරු කරගත හැකිය.

වාර්ෂිකව විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව වාර්තා වන අතර වසරකට සාමාන්‍යයෙන් බලපත්‍ර නොමැති වංචනික ආයතන 50 – 80ත් අතර ප්‍රමාණයක් වැටලීම්වලට ලක් වන බව පැවසේ.

කාර්යාංශයේ මැදිහත්වීම මත, වංචාකරුවන්ට හසුවූ පුද්ගලයින්ට වසරකට රුපියල් මිලියන 100කට අධික මුදලක් නැවත ලබාදීමට පියවර ගනු ලැබූවද සියළු දෙනාගේම මුදල් එලෙස හමුවන්නේ යයි පැවසිය නොහැක. මක් නිසාද සමහර වංචාකරුවන් අදටත් සොයා අගත නොහැකිව සිටින බැවිනි.

නීති විරෝධී කටයුතුවල නිරත වන සහ කොන්දේසි උල්ලංඝනය කරන බලපත්‍රලාභී ඒජන්සිවලට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන අතර වසරකට ඒජන්සි 10-15ක් පමණ ස්ථිරවම තහනම් කෙරේ. තවද පැමිණිලි විභාග වන තෙක් වසරකට ඒජන්සි 50කට වැඩි සංඛ්‍යාවක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවනු ලැබේ. වංචා සිදුකරන විදේශීය හා දේශීය නියෝජිතයින් Blacklist කිරීමට ද SLBFE විසින් කටයුතු කරයි. එසේ තිබියදීත් මෙවැනි සිදුවීම් සිදු වීමට හේතුව එම ඒජන්සි නමින් පෙනී සිටිනා වංචාකරුවන්ගේ ක්‍රියාකලාපයන් පමණක් ම නොවේ. එලෙස හසු නොවී සිටීමට නම් අපගේ දැනුවත් බාවය සහ අවබෝධය ද අනිවාර්යයෙන් ම තිබිය යුතු වේ.

මෙරට ජනතාව මෙලෙස වංචනික විදේශ රැකියා ඒජන්සි වලට හසු වීම සුලභ කාරණයකි. සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය සම්බන්ධයෙන් ජනතාව සතුව වන දැනුම අඩු කමද මේ සඳහා බලපානු ලබයි. රට තුළ පවතින ආර්ථික තවත්වය මත තමාගේත් තම පවුලේ සාමාජිකයන්ගේ ත් අපේක්ෂා ඉටු කර ගත නොහැකි වීම, දේශගුණික විපර්යාස, පවුල් වල තිබෙන ගැටළු නිසාවෙන් මිනිසුන් කවරාකාරයෙන් හෝ විදේශ ගත වීමට උත්සාහ කරනු ලබයි. එහිදී විදේශ රැකියා සම්බන්ධ විවිධ වංචාකාරී අතරමැදියන්ට සහ වංචාකාරී ඒජන්සි වලින් රැවටීමට ලක් වේ. 

නීති විරෝධී අතරමැදියන් බොහෝ විට යොදවනු ලබන්නේද විදේශ රැකියා නියෝජිත ආයතන මගින්ම ය. මීට අදාළව නිතිය ක්‍රියාත්මක කළද රජය විසින් මීට අදාළ නිසි වැඩපිළිවෙලක් සකසන තෙක් මෙම අර්බුධය එලෙසම පවතී. තමනුත් තම පවුලේ අයත් ගොඩ දැමීම සඳහා මෙලෙස අනාරක්ෂිතව විදේශ ගත වීමට උත්සාහ ගැනීමේදී මිනිස් වෙළඳාම් කරුවන්ට හසු වීම සිදු වේ.

ලබාදෙන දඬුවම් සහ නීතිමය තත්ත්වය

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වංචාකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් නියම කළ හැකිය.

  • දඩ මුදල්: වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා ආයතනයක් පවත්වාගෙන යාම හෝ ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයකට අධික දඩ සහ වංචා කළ මුදල මෙන් තෙගුණයක දඩයක් නියම කළ හැකිය.
  • බන්ධනාගාර ගත කිරීම: වරදකරුවන්ට වසර 2 සිට 5 දක්වා බන්ධනාගාර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලය ඇත.
  • විදේශ ගමන් තහනම්: මෙම සිද්ධියේදී මෙන්ම වරෙන්තු නිකුත් වූ පුද්ගලයින්ට එරෙහිව ගුවන්තොටුපොළ විදේශ ගමන් තහනම් නියෝග ලබාගැනීම ද සිදුවේ.

මෑත කාලීනව සංචාරක වීසා මගින් රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීම හරහා මිනිස් වෙළඳාම ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම ඕමානය, මියන්මාරය, ඩුබායි සහ තායිලන්තය වැනි රටවලට මෙලෙස යොමු කරන පුද්ගලයින් විවිධ වධහිංසාවලට සහ මිනිස් වෙළඳාමට ලක්වූ අවස්ථා පසුගිය වසරේදී බහුලව වාර්තා විය.

සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය යථාර්තයක් කිරීමේදී සහ සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සංක්‍රමණික සමිති, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි.

ශ්‍රම සංක්‍රමණයේ චක්‍රයේ විවිධ අවස්තාවලදී සුරක්ෂිත විය යුතු ආකාරය ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කරමින්, වංචනික ඒජන්සි හඳුනාගන්නා ආකාරය සහ නීත්‍යානුකූලව සුරක්ෂිතව විදේශ ගතවීමේ පියවර පැහැදිලි කර දීම, දැනුම ලබා දීම සංක්‍රමණික සමිති මේ වන විටත් සිදු කරමින් සිටී. විදේශ ගතවීමට පෙර සිට නැවත මෙරටට පැමිණීම දක්වා වූ ක්‍රියාවලිය (Migration Cycle) පුරාම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම ක්‍රියාවලියේදී රමේ සම්බන්ධ රාජ්‍ය නිළධාරීන්ගේ මැදිහත්වීම ඵලදායී අයුරින් සිදු වන්නේද යන්න ගැටලුවකි. 

විදේශගත වීමට පෙර සහ මෙරටට පැමිණි පසු ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය මානසික සහ සමාජයීය සහායන් සහ නැවත සමාජ ගත වීමේදී ඊට සහය වීම සංක්‍රමණික සමිති විසින් සිදු කළ ද රජය ප්‍රතිපත්තිමය වශයෙන් ඊට මැදිහත් වීම දුර්වල මට්ටමක පවතී.

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම “විදේශ සේවා නියුක්ති නිලධාරියෙකු” සිටියද, බොහෝ විට ඔවුන්ගේ කාර්යභාරය ලේඛන කටයුතුවලට පමණක් සීමා වී ඇත. ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේදී ඔවුන් සංක්‍රමණික සමිති සමඟ වඩාත් සමීපව කටයුතු කළ යුතුය. ග්‍රාම නිලධාරී මට්ටමින් තම බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන අනවසර අතරමැදියන් පිළිබඳව සොයා බලා ඔවුන් නීතියේ රැහැනට හසුකර දීමට සෘජු දායකත්වයක් ලබාදිය හැකිය.

රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායී කර ගැනීම සඳහා සංක්‍රමණික සමිති විසින් රජයට බලපෑම් කරමින් සිටී. මෙම විෂය සඳහා පත් කර ඇති නිලධාරීන්ගේ වගවීම තහවුරු කරමින් සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. රජය විසින් ගන්නා තීරණ සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී සංක්‍රමණික සමිතිවල නියෝජිතයන්ට ද අවස්ථාව ලබාදීම හරහා සැබෑ ගැටළු ප්‍රතිපත්ති සකස් කරන මේස මතට ගෙන ඒමට අවස්ථාව සැලසිය යුතුය.

සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තිබූ පමණින් එය යථාර්තයක් නොවන අතර ඊට සම්බන්ධ පාර්ශවකරුවන් සමග කටයුතු කරමින් එය යථාර්තයක් කිරීමට කටයුතු කිරීම පිළිබඳව රජය දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය.

එසේ නොවන්නේ නම් මුල්ලේරියාවේ සිදු වීම වැනි සිදු වීම් තව බොහෝ ගණනක් සිදු විය හැකි අතර ඒවාට අදාළ නීති ක්‍රියාත්මක කළේ යයි SLBFE එකට පුරාජේරු කියමින් සිටිය හැකිය. අවශ්‍ය වන්නේ තුවාලයට ප්ලාස්ටර් ගැසීම නොවේ. තුවාල ඇතිවන හේතුව විනාශ කර දැමීමයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading