තමන් ඉලක්ක කරගනිමින් ඇතැම් පාර්ශවයන් එල්ල කරන පෞද්ගලික විවේචන සහ ප්‍රහාර තමන් පෞද්ගලිකව ගණන් නොගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඇය පවසන පරිදි මෙම ප්‍රහාර හුදෙක් එක් පුද්ගලයෙකුට එරෙහිව කරන චෝදනා නොව, කාන්තාවන් නායකත්වයට පැමිණීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින පසුගාමීත්වය පෙන්නුම් කරන පොදු පද්ධතිමය ගැටලුවකි.
මාධ්‍යවේදී ශාර්ලන් බෙනඩික්ට් විසින් මෙහෙයවන ලද නිව්ස්ෆ්‍රස්ට් නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ. එම සාකච්ඡාවේදී, අග්‍රාමාත්‍යවරියට එල්ලවෙන පෞද්ගලික ප්‍රහාර ගැන විමසූ අවස්ථාවේදී ඇය මෙසේ ප්‍රතිචාර දැක්වුවාය.
‘ෂාර්ලන් මට සමහර ප්‍රහාරයන් උත්කර්ෂයට නංවන්න ඕනෑ නෑ. ඒ කියපු දේවල් ගැන. මම දේශපාලනයට ආවාට පස්සේ ඉක්මනින්ම ඉගෙනගත්ත දෙයක් තමයි ඔබ පෞද්ගලික ප්‍රහාරවලට උත්තර දෙන්න පටන් ගත්තොත් ඒකෙන් අපේ අවධානය වෙනතක යොමු වෙනවා. මම ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ මගේම හෘදය සාක්ෂියට සහ මගේ වටිනාකම් අනුව. මම වැඩ කරන, මම විශ්වාස කරන මිනිස්සු සහ මම ආදරය කරන අයත් මගේ පවුලේ අයත්, මගේ රටේ ජනතාව මාව විශ්වාස කරනවා නම්,, මම කරන දේ පිළිගන්නවා නම් මම වල් වැදුණු තනි පුද්ගලයන් සුළුතරයකට ප්‍රතිචාර දක්වන්නෑ. ඒ මම වැඩකරන විදිය නෙවෙයි.
ඒත් මට මෙතැන ලොකු ප්‍රශ්නය දිහා බලන්න ඕනෑ. මෙතැන ඇත්තටම හරිනි අමරසූරිය කියන පුද්ගලයා නෙවෙයි මාව කාන්තාවක් විදියට සලකලා එල්ල කරන ප්‍රහාර තියෙනවා. ඒ වගේම කාන්තා නායකත්වය ගැන එල්ල කරන ප්‍රහාරයක්. එයින් අපේ සමාජයේ ගැඹුරට විහිද ගිය පසුගාමීත්වයක් ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම සමහර කණ්ඩායම්වලට ශක්තිමත් කාන්තාවන්, ශක්තිමත් කාන්තා නායකත්වයන් එක්ක ගනුදෙනු කරන්න බැරිකමක් තියෙනවා. කාන්තාවක් කොහොම විය යුතුද කියන ඔවුන්ගේ හිසේ තියෙන අදහස්වලට එය ගැලපෙන්නෑ. ඒක මා පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පොදුවේ කාන්තාවන් පිළිබද ප්‍රශ්නයක්. අපිි ඒකට එරෙහිව සටන් කළ යුතුයි. මොකද මම හිතන විදියට වැදගත්ම දේ තමයි මේ වගේ ප්‍රහාරයන් නිසා අනෙක් තරුණ සහ ශක්තිමත් සහ හැකියාවක් තියෙ කාන්තාවන් නායකත්ව භූමිකා බාර ගැනීමට අධෛර්යවත් වෙන්න හොද නෑ.
එය සිදු නොවීමට අපි වග බලාගන්න ඕනෑ. ඒ නිසා මම තනි කෙනෙක් විදියට මේ ගැන වධ වෙන්නෑ. මම ප්‍රතිචාර දක්වන්නේ පද්ධතිගත ප්‍රශ්නයක් විදියට. අනෙක් කාන්තාවන් දේශපාලනයේ වුණත්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වුණත් වෙන ක්ෂේත්‍රයක වුණත් නායකත්වය ගැනීමෙන් වළකිනවා දකින්න මට ඕනෑ නෑ. ඒ නිසා මම එය ගැන කතා කරනවා. අපට ඒ නිසා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ. මෙවැනි හැසිරීම් පිළිගත නොහැකි නිසා.
මෙහිදී මාධ්‍ය වේදියා විමසා සිටියේ ඇතැම් ප්‍රහාර පිරිමින්ගෙන් නොව කාන්තාවන්ගෙන්ම එල්ල වෙන බවයි.
යනුවෙන් පවසමින් ඇය පවසා සිටියේ, මේ පද්ධතිවලින් ඇතැම් කණ්ඩායම් බැහැර කරන්නේ කෙසේද යන්න හඳුනාගෙන මේ පසුගාමී පද්ධතියෙන් පිටතට පැමිණෙන සමහර කාන්තාවන් මෙන්ම පිරිමින් සිටින බවයි. ඒ සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඇය පවසා සිටියා. එසේම ඇතැම් කාන්තාවන් මේ පිළිබඳව කතා කරද්දී දේශපාලන වශයෙන් පාවිච්චි වන බවත් තමන් කියන දේ අර්ථය පිළිබඳව නිසි වැටහීමකින් තොරව ඔවුන් සමහර ප්‍රකාශ කරන බවත් ඇය සඳහන් කර සිටියා.
මේ පිළිබඳව ඇය වැඩි දුරටත් සඳහන් කරමින් මෙසේ සඳහන් පවසා සිටියා.
ඒ වගේම බොහෝ කාන්තාවන් සහ පිරිමින් මේ ප්‍රහාරවලට විරුද්ධව කතා කළා. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ සිටින මගේ දේශපාලන ප්‍රතිවාදීන් පවා. ශානක්‍යන් රාසපුත්‍රන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වගේ අය පවා මේ ගැන කතා කළා. බොහෝ සිවිල් කණ්ඩායම් පවා, කාන්තා කණ්ඩායම් පවා… මෙය මට එරෙහි ප්‍රහාරයක් නෙවෙයි- කාන්තාවන්ට එරෙහි ප්‍රහාරයක් ලෙස හදුනාගෙන ඉදිරියට ඇවිත් කතා කළා. මෙය තමයි සුළුතරයේ හඩ කියලා කියන්නේ.‘
