මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 3කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්… ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්…

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (06) දින ප.ව. 12.30 ට නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව පැවසේ. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.

මුහුදු ප්‍රදේශ වල තත්ත්වය සලකා බැලීමේදී සුළං ඊසාන දෙසින් හමා එන බව පැවසෙන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. බේරුවෙල සිට කොළඹ පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යා හැකිය.

බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකිය. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගොඩබිම ප්‍රදේශ පිළිබඳව සඳහන් කිරීමේදී ඌව පළාතේ සහ නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බවසයි.

ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.

මෙම අනතුරු ඇඟවීම ඊයේ රාත්‍රී 10:00 සිට අද (ජනවාරි 06) රාත්‍රී 10:00 දක්වා වූ පැය 24 ක කාලසීමාව සඳහා වලංගු වේ. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවද එහි සඳහන් වේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

නායයෑමක හෝ කන්දක් කඩා වැටීමක අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන ජනතාව පහත සඳහන් ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු සඳහන් වේ.

  • පොළොවේ ඇති වන හදිසි පැලුම් හෝ ඉරිතැලීම්.
  • ගස්, විදුලි කණු හෝ වැටවල් අසාමාන්‍ය ලෙස ඇලවීම.
  • ගොඩනැගිලිවල බිත්ති සහ ගෙබිම මත ඇති වන පැලුම් මතු වීම.
  • හදිසියේ උල්පත් මතු වීම හෝ පෙර පැවති උල්පත් සිඳී යාම/ජලය බොර වීම.
  • පොළොව අභ්‍යන්තරයෙන් ඇසෙන අසාමාන්‍ය ශබ්ද.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පහත උපදෙස් ලබා දී අතර ඒ අනුව
නායයෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම්, ප්‍රමාද නොවී වහාම එම ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් වරින් වර නිකුත් කරන නිල නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් දන්වා සිටී.

එසේම රාත්‍රී කාලයේ වර්ෂාව පවතින විට වඩාත් ප්‍රවේශම් වන ලෙසත් කඳු බෑවුම් සහිත මාර්ගවල රිය ධාවනය කිරීමේදී පස් කඩාවැටීම් හෝ ගල් පෙරළීම් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ජනතාව දැනුවත් කර සිටී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading