සංඛ්‍යාත දැන් එච්චරම වැඩක් නෑ! කොම්බුවේ ලොක්කා මයන්න දායි!

වර්තමාන ලෝකයේ පවතින වේගවත් තාක්ෂණික දියුණුවත් සමග රූපවාහිනී මාධ්‍ය කර්මාන්තය සඳහා සංඛ්‍යාත (Frequencies) තවදුරටත් අත්‍යවශ්‍ය සාධකයක් හෝ හිඟ සම්පතක් නොවන බව ටීවී දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා පවසා තිබෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය සහ අන්තර්ජාල වේදිකා හරහා ඕනෑම අයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩකඩ ඇති බැවින් සංඛ්‍යාත පාලනය කිරීම යල් පැන ගිය ක්‍රමවේදයක් බව ඔහු කියා තිබෙනවා.

ඉරිදා ලංකාදීපයට කළ අදහස් දැක්වීමක ඔහු මේ බව කියා තිබෙන්නේ සංඛ්‍යාත නියාමනය යල් පැන ගිය සංකල්පයක් බව හැගවීමටයි. එහෙත්, ඇත්තෙන්ම දෙරණ ආයතනය ඇතුළු ඔහු නියෝජනය කරන විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සාමාජිකයන් පවා මේ වෙලාවේ ‘අත්‍යවශ්‍ය නැති‘ බව කියන සංඛ්‍යාත අත්හැර දමන්නට ලෑස්ති නෑ. ඔවුන් සියලුදෙනා විශාල වශයෙන් ආදායම් උපයන්නේ මහජන දේපළක් වන සංඛ්‍යාත අවභාවිත කරමිනුයි. ඒ ගැන ප්‍රශ්නයක් මතුවෙද්දී ඔවුන් කියන්නේ දැන් සංඛ්‍යාත වැඩක් නැහැ වගේ කතාවක්. ඔහු නවීන තාක්ෂණය ගැන කියන කතාව නිවැරදියි. දැන් සංඛ්‍යාත නැතිවත් විශාල මාධ්‍ය ආයතන ගොඩනැගීමේ හැකියාවක් තිබෙනවා. එහෙත්, දෙරණ- හිරු වැනි ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන අදටත් ජනතාව අතරට ගමන් කිරීමට වැඩිපුර පාවිච්චි කරන්නේ මහජන දේපළක් වූ සංඛ්‍යාත. ඒ වාගේම ඔවුන් දැන්වීම්වලින් විශාල ආදායම් උපයන්නේත් සංඛ්‍යාත පාවිච්චි කරමිනුයි.

ටීවී දෙරණ උප සභාපති සහ විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ ලේකම් ලක්සිරි වික්‍රමගේ මහතා ඉරිදා ලංකාදීපයට දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත දැක්වෙනවා.

“1930 ගණන්වල ඇමරිකන් නඩු තීන්දුවක් අනුව තීරණය වුණා සංඛ්‍යාත ජනතාවගේ කියලා. ඒ තීන්දුව සඳහා බලපෑ සාධකය වුණේ විරල භාවයයි. ඒ කාලයේ සන්නිවේදන මාධ්‍ය දියුණු නැහැ. 1960 ගණන්වල මේ තීන්දුව අහෝසි වෙනවා. සන්නිවේදනය දියුණු වෙලා ඕනෑ තරම් සන්නිවේදන මාධ්‍ය ඇතිවීම අනුව මෙහි විරලභාවයක් නැහැ යන මතය ඉදිරිපත් වෙනවා. මේ වනවිට ඊටත් වඩා වැඩි සන්නිවේදන මාධ්‍ය ප්‍රමාණයක් තිබෙනවා. ඒ අනුව දැන් සංඛ්‍යාත විරල නැහැ.

එසේම සැටලයිට් ටීවී බිහිවීම නිසා සංඛ්‍යාතවල අවශ්‍යතාවක් නැහැ. දැන් සංඛ්‍යාත නැතුව ඩයලොග් ටීවී හෝ පියෝ ටීවීනි චැනල් එකක් කරලා දාන්න පුළුවන්. සංඛ්‍යාත අවශ්‍ය වන්නේ ඇන්ටනාවක් හරහා බලනවා නම් විතරයි.

මේ වනවිට නෙට්ෆ්ලික්ස් වැනි VOD Platforms ඕනෑ තරම් තියෙනවා. ඒවායින් ඕනෑම චැනල් එකක්, නාට්‍යයක් ඕනෑම නිව්ස් එකක් ඕනෑ විදියට යවන්න පුළුවන්. එවිට ඒක විරල නෑ.

මාධ්‍ය මර්දනය කරන්න කලින් කලට විවිධ කාරණා හොයනවනේ. හැබැයි මේකෙන් මර්දනය කරන්න හම්බවෙන්නේ නැහැ. කරන්න හැදුවට එහෙම කරන්න බැහැ.

යුද්ධ කාලේ කොටින්ට කඩේ ගිය මාධ්‍ය නාලිකාත් තියෙනවානේ. රටේ හදිසි නීතිය තියෙද්දී, යුද්ධයක් තියෙද්දී, නීත්‍යානුකූල රජයක් සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර යුද්ධයක් තියෙද්දී ත්‍රස්තවාදී කණ්ඩායමේ පැත්ත ගත්ත නාලිකාත් තියෙනවානේ.

ලෝකය දැන් තිබෙන්නේ 50 ගණන්වල හෝ 40 ගණන්වල නෙවෙයි. අද සංඛ්‍යාත කියන එකේ ඇති වැදගත්කමක් නෑ. යූ ටියුබ් හෝ සෝෂල් මීඩියා හරහා කොයි තරම් සන්නිවේදනය කරනව ද? ජනතාවගේ, ජනතාවගේ කියන කතා සෝෂල් මීඩියාවලට පෙර යුගයේ කතාවක්.

ලෝකෙ මධ්‍යස්ථයි කියන නාලිකා කොහෙද තියෙන්නේ. විවිධ මත විවිධ විදිහට ප්‍රකාශයට පත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ෆොක්ස් එකේ කියන විදිහට නෙවෙයි CNN එකේ කියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට විනිශ්කාරයන් පවා යොදාගෙන විවේචනය කරන්න CNN කටයුතු කළා. මාධ්‍ය කියන්නේ විවිධයි, විෂමයි.

අනියම් විදිහට එක් නාලිකාවක් මර්දනය කරලා අනික් අයට වැඩි වාසියක් ලබාදීමක් තමයි වෙනවා නම් වෙන්නේ. රජයේ මාධ්‍යම දෙකක් තියෙනවා. රජයේ නොවන මාධ්‍ය රජය අපහසුතාවට පත්කරනවා නම් රජයට පුළුවන්නේ ඒ හඬ යටපත් කරන්න. රජය පැත්තේ නම් ජනතාව හිටගන්නේ ජනතාව අහන්නේ රජයේ මාධ්‍ය කියන දේනේ. එවිට රජයේ මතය රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න පුළුවන්නේ. ඒකනෙ සමබරභාවය කියන්නේ. ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාව තිබිය යුතුයි.

රජය එක මාධ්‍ය නාලිකාවක් මර්දනය කරන්න යනවා කියන එකෙන්ම රජය පිළිගන්නවා ජනතාව ඒ නාලිකාව තමයි නරඹන්නේ කියලා. ලංකාවේ ටෙලිවිෂන් නාලිකා කීයක් තියෙනව ද? රජයේ නාලිකා 2ක් සහ රජය පැත්තට කතාකරන පුද්ගලික නාලිකාත් තිබියදී සෙසු නාලිකා නම් ජනතාව නරඹන්නේ ඒක මාරයිනෙ.

විද්‍යුත් සන්නිවේදකයින්ගේ සංගමය ලෙස අපි ඔය කාරණය සම්බන්ධව ලිපියක් රජය වෙත ලබාදුන්නා.”

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading