ලංකාව තුළ අදානිලට එරෙහිව කිසිම චෝදනාවක් නෑ කියයි… අදානි සමූහය සිය අරමුදල් යොදවමින් CWIT ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යයි…

අදානි සමූහය විසින් මෙහෙයවනු ලබන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත (Colombo West International Terminal – CWIT) ව්‍යාපෘතිය සඳහා අපේක්ෂා කළ, එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (US Development Finance Corporation – DFC) වෙතින් ලැබීමට නියමිතව තිබූ අරමුදල් නොලැබීම හේතුවෙන්, එම ව්‍යාපෘතිය අදානි සමාගමේම අරමුදල් යොදා ගනිමින් ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළේ, CWIT ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ අදානි සමූහයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවයි. වෙනත් රටවල එම සමාගමට එරෙහිව අල්ලස් චෝදනා එල්ල වී තිබුණද, ශ්‍රී ලංකාව තුළ කිසිදු පැමිණිල්ලක් හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි වාර්තා වී නොමැති බැවින්, ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව ඔහු සඳහන් කළේය.

“මේ දක්වා, ශ්‍රී ලංකාවේ කිසිදු නීති විරෝධී ක්‍රියාවකට [සමාගමේ] සම්බන්ධයක් පිළිබඳව කිසිවෙකු සාක්ෂි ලබා දී නැහැ,” “පරීක්ෂණයක් ඉල්ලා කිසිදු ඉල්ලීමක් කර නැහැ, ව්‍යාපෘතියට අදාළව දූෂණ චෝදනා නැහැ. අපි ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන සතුටු වන අතර එය නැවැත්වීමට කිසිදු හේතුවක් නැහැ.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි. එසේම පර්යන්තයේ සංවර්ධන කටයුතු නියමිත කාලසටහනට අනුව හොඳින් සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) දේශීය හවුල්කරුවා ලෙස කටයුතු කරන මෙම ව්‍යාපෘතිය, ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයීම ඇතුළු සිය කොන්ත්‍රාත් බැඳීම් ඉටු කරමින් සිටින බව වාර්තා වේ.

එය DFC හරහා එක්සත් ජනපදයෙන් අරමුදල් ලබා ගැනීමට උත්සාහ කළ නමුත්, එම අරමුදල් නොලැබුණද, දැන් එය තමන්ගේම අරමුදල් යොදාගෙන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. අපට ඒ ගැන ගැටලුවක් නැහැ. මෙය ප්‍රමාදයකින් තොරව ගිවිසුමට අනුව තම කැපවීම් ඉටු කිරීමේ ඔවුන්ගේ ක්‍රමයයි,” නියෝජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපෘතියේ ආර්ථික වැදගත්කම සහ ප්‍රගතිය

කොළඹ වරාය තුළ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැදගත් බව කොඩිතුවක්කු මහතා පැවසීය. අදානි සමූහයේ මැදිහත්වීම දැනටමත් වරායට පැමිණෙන භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වී ඇති බවද ඔහු පැහැදිලි කළේය.
“කොළඹ වරායේ වත්මන් තත්ත්වයන් සහ භාණ්ඩ ප්‍රවාහනය අනුව, මෙම ව්‍යාපෘතිය ආදායම් උත්පාදනයට සහාය වෙනවා,” “වරායට පැමිණෙන කන්ටේනර් ප්‍රමාණය ඉහළ යාමට අදානිගේ මෙහෙයුම් දායක වී තිබෙනවා.”
යනුවෙන්ද ඔහු පැවසීය.

කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතුළුව ව්‍යාපෘති කාලය තුළ ඇති වූ දුෂ්කරතා ද ඔහු සඳහන් කරමින් ඔහු කියා සිටියේ මෙම අභියෝග තිබියදීත්, අදානි සමූහය ව්‍යාපෘතියෙන් ඉවත් නොවූ බවයි.

අපේ දුෂ්කර කාලය තුළ ඔවුන් ඔවුන්ගේ සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගෙන ගියා, ඒ ගැන අපි සතුටු වෙනවා,” කොඩිතුවක්කු මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණය කරන ලද පර්යන්තයේ පළමු අදියර අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කළ බවයි.

පර්යන්තයේ පළමු අදියර, ස්වයංක්‍රීය නැවෙන් (Ship-To-Shore – STS) ගැන්ට්‍රි දොඹකර 8කින්, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණය කරන ලද රේල්-සවි කළ ගැන්ට්‍රි (Rail-Mounted Gantry – RMG) ගොඩගැසීමේ දොඹකර 18කින් සහ සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක වන අභ්‍යන්තර හුවමාරු වාහන (Internal Transfer Vehicles – ITVs) 62කින් සමන්විත උසස් ස්වයංක්‍රීය උපකරණවලින් සමන්විතය.
මෙම ආරම්භක අදියරේ වාර්ෂික ධාරිතාවය දළ වශයෙන් Twenty-foot Equivalent Units – TEUs මිලියන 1.5 ක් වන අතර, සමස්ත ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු මුළු ධාරිතාව TEUs මිලියන 3.2 පමණ දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව, දෙවන සහ අවසන් අදියර දැනටමත් කාලසටහනට වඩා ඉදිරියෙන් පවතී.

“දෙවන අදියරෙන් 50% ක් පමණ දැනටමත් අවසන්. අංගනයෙන් 50% ක් පමණ දැනටමත් අවසන් බව මට තහවුරු කළ හැකි අතර ඉතිරි වැඩ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා. දෙවන අදියර සඳහා යන්ත්‍රෝපකරණ පරීක්ෂා කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා,” ඔහු වැඩි දුරටත් පැවසීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading