වැල්ලවත්ත මුහුදු වෙරළට යන්න බෑ ! සංචාරක, ධීවර කර්මාන්ත අනතුරේ !!

වැල්ලවත්ත මුහුදු තීරය දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වීම, කැළිකසළ ගොඩගැසීම ආදී කරුණු හේතුවෙන්, ධීවර කටයුතු සහ සංචාරක කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව එම ප්‍රදේශයේ ධීවරයන් හා සංචාරක කටයුතුවල නියැලෙන්නන් පවසනවා.

මෙසේ මුහුදු වෙරළ ඛාදනය නිසා ධීවර සහ සංචාරකයන්ට පහසුකම් සලසන පිරිස්වලට අයත් ගොඩනැඟිලි මුහුදට ගසාගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්,  මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් එකී සේවාවන් සපයාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

විශේෂයෙන් ම වැල්ලවත්ත ඇළ හරහා මුහුදට ගසාගෙන එන කැළි කසළ ද වෙරළ තීරයට ගොඩගැසෙන බවත්, එම නිසා වෙරළ තීරය අපවිත්‍ර වීම පමණක් නොව සංචාරකයන් වෙරළ තීරයට පැමිණීමට ද මැළිකමක් දක්වන බවත් ඔවුන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම් සිදු කරන අවස්ථාවලදී වැලි කොට්ට කිහිපයක් ලබාදී තාවකාලික පිළියම් යෙදීමට කටයුතු කළත් ඒවා ද දින කිහිපයක් තුළ මුහුදට ගසාගෙන යන බව කණගාටුවෙන් යුතුව සඳහන් කරන ඔවුහු තරයේ කියා සිටියේ,  මෙම මුහුදු ඛාදනය වළක්වා ගැනීමට වැල්ලවත්ත වෙරළ තීරයට ගල්වැටියක් යෙදීම සහ ඇළ මාර්ගයෙන් පැමිණෙන කැළිකසළ මුහුදට ගලායෑමට නොදී එම ස්ථානයෙන් ගොඩගෙන යම් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවකට යොදාගත හැකි නම් මෙම වෙරළ තීරය සංචාරකයන් පැමිණීම සඳහා වඩාත් ගැලපෙන ස්ථානයක් බවට පත් කරගත හැකි බවයි.

මූලාශ්‍රය – දිවයින පුවත්පත

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading