කොළඹ ලෝටස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශය කාර්යබහුල වේලාවන්හි දී අධික රථවාහන තදබදයක් ඇති වන ස්ථානයක් බවට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් නාගරික ගමනාගමන ජාලය තුළ රථවාහන තදබදයක් ඇති වන බව නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව කොළඹ වරාය නගරය සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක තත්ත්වයට පත් වීම හා කොළඹ නගරය තුළ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන සංවර්ධන කටයුතු නිම කිරීමත් සමඟ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි බව පෙනී යන බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත්, එම කරුණු සැලකිල්ලට ගනිමින්, වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ බෑවුම් සහ සමුද්‍රාසන්න මාර්ගයේ දීර්ඝ කිරීම් ද ඇතුළුව, යා කෙරෙන ප්‍රධාන කොරිඩෝ සමඟ සබඳතාව වැඩිදියුණු කිරීම සහ ලෝටස් වටරවුම ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා තිරසර විසඳුම් සැකසීම පිණිස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.
